පළවෙනි ලිපියෙන් අපි කතා කළේ කිරි දත් වල වැදගත්කම සහ කිරිදත් දිරායාමට හේතු පිළිබඳව. ඉතින් අද කියන්න බලාපොරොත්තු වෙන්නෙ කිරිදත් දිරායාම කොහොමද වළක්ව ගන්නෙ කියලා.
මුල්ම කිරිදත එන්නෙ වයස මාස 6ක් පමණ කාලෙදි. ගොඩක් වෙලාවට බබාට මේ වෙද්දි මව්කිරි වලට අමතරව ඝන ආහාර දෙන්න පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ නිසා එක දතක් ආවට පස්සෙ ඉඳන්ම දත් පිරිසිදු කිරීම කරන්න පටන් ගන්න ඕනෙ.
පුංචිම බබාලාගෙ නම් පිරිසිදු රෙදි කෑල්ලක් එහෙම නැත්තම් ගෝස් කෑල්ලකින් දත් ටික පිස දමලා පිරිසිදු කරන්න පුළුවන්. දත් දෙකකට වඩා වැඩියෙන් තියෙනවනම් කුඩා දරුවන් සදහා'ම නිෂ්පාදනය කරපු දත් බුරුසුවක් යොදාගන්න පුළුවන්. දන්තාලේපය සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒ දන්තාලේප ප්රමාණය පහත රූපයේ දක්වා ඇති පරිදි විය යුතුයි.
අවුරුදු දෙකට වඩා අඩු දරුවන් සඳහා පළවන රූපයේ පරිදි තුනී ස්තරයක් (smear layer) පාවිච්චි කළ යුතුයි.
අවුරුදු දෙකට වඩා වැඩි දරුවන් සඳහා දෙවන රූපයේ පරිදි මුං ඇටයක ප්රමාණයක් පාවිච්චි කළ යුතුයි.
පොඩි අය හරිම කැමතියි දත් බෙහෙත් ගිලින්න. ඒත් පොඩි කාලෙදි මෙහෙම අධික ලෙස ෆ්ලෝරයිඩ් ශරීරගත වුණාම ෆ්ලෝරෝසිස් වගේ රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම දන්තාලේප ගිලින් එක අපි වළක්වගන්න ඕනෙ.
දරුවාට අවුරුදු 10ක් පමණ වෙනකල් දත් මැදීමට දෙමව්පියන්ගේ සහය ලැබෙනවා නම් ඉතාම හොඳයි. මොකද කුඩා දරුවන්ට තමන්ගේ දත් නිසි පරිදි පිරිසිදු කරගන්න එක ටිකක් අමාරු කටයුත්තක්.
ඒ වගේම දන්ත විකලාංග ඉවැරදි කිරීම සඳහා කම්බි වගේ දේවල් දාල තියෙනවා නම් මැලියම් බැඳීම ඉහළ මට්ටමක තියෙන්නෙ. ඒ නිසා හොඳින් දත් මැදීම ඉතාම වැදගත්.
දවසට දෙවරක්, උදේ සහ රාත්රීයේදී ප්රධාන ආහාර වේල් වලට පස්සෙ දත් මැදීම ප්රමාණවත්.
කිරි දත් පරිස්සම් කරගන්න පැණි රස කෑම අඩු කරන්නෙ කොහොමද කියලා අපි ඊලඟ ලිපියෙන් බලමු..