Showing posts with label ඥාණ දත් (Wisdom Teeth). Show all posts
Showing posts with label ඥාණ දත් (Wisdom Teeth). Show all posts

Sunday, May 31, 2015

ඥාණ දත්.... (Wisdom Teeth) -II

මෙම ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
ශල්‍යකර්මයෙන් පසු කළ යුතු දේවල් සහ ඇති විය හැකි සංකූලතා පිළිබඳවයි. 

සාමන්‍යයෙන් මෙම ශල්‍යකර්මයෙන් සුවය ලබන්න දින 5-5-7 දක්වා කාලයක් ගත වෙනවා. විදුරුමස් වල ඇති තුවාලය සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න සති 3-4 දක්වා කාලයක් ගත වෙනවා. 

සංකූලතා ඇති වීම වළක්වා ගෙන තුවාලය හොඳින් සුව කර ගැනීමට පහත උපදෙස් ඉතා වැදගත් වෙනවා. 

  • ශල්‍යකර්මයෙන් පසුව පළමුපැය 24 ඇතුළත ලේ ගැලීම සාමන්‍ය දෙයක්. මෙය නතර කිරීමට පිරිසිදු ගෝස් කැබැල්ලක් තබා විනාඩි 45ක් පමණ හපාගෙන සිටිය යුතුයි. එමගින් ලේ ගැලීම නතර වෙනවා. 
  • නිතර කෙළ ගැසීමෙන් වැළකී සිටීම වැදගත්. තුවාලය සුව වීමට එතැන ලේ කැටියක් සෑදීම අවශ්‍ය වෙනවා. නිතර කෙළ ගැසීමෙන් ඒ ලේ කැටිය ගැලවී ඉවතට ය හැකියි. එමගින් තුවාලය සුව වීමට බාධා ඇති වෙනවා. 
  • නතර නොවන ලේ ගැලීමක් සිදුවේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
  • දත ගැලවූ පැත්තේ කම්මුල ඉදිමීම සිදුවිය හැකියි. ඉදිමීම අඩු කිරීමට අයිස් රෙදි කැබැල්ලක ඔතා එම ස්ථානයේ තබන්න. විනාඩි 10ක් අයිස් තැබීමෙන් පසුව විනාඩි 20ක් එය ඉවත් කර තබන්න. පළමු පැය 24 තුල මෙය නැවත නැවත කිරීමෙන් ඉදිමුම යම් තරමකට අඩු කර ගත හැකියි. 
  • හිරි වැට්ටීමෙන් පසුව පැය තුනක් පමණ කාලයක් එම හිරි ගතිය හිබෙනවා. එම කාලය ඇතුලත දිව හා කම්මුලේ ඇතුල් පැත්ත ඔබට නොදැනීම හැපීම නිසා තුවාල සිදුවෙන්න පුළුවන්, එය වළක්වා ගත යුතුයි, ඒ වගේම උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළෛය යුතුයි. එහි නියම උණුසුම හිරි ගතිය නිසා නොදැනීමෙන් තුවාල සිදු වෙන්න පුළුවන්. 
  • වෙහෙස වී කරන කටයුතු වලින් මඳකට ඈත්ව විවෙකීව සිටීමෙන් ලේ ගැලීම අඩු කර ගත හැකියි. 
  • පළමු පැය 24 තුළ කට සේදීමෙන් වැළකී සිටින්න. එයින් ලේ කැටිය ගැලවී යා හැකියි. පසු දිනයේ මඳ රස්නය ඇති ලුණු වතුරෙන් කට සේදීම සිදු කරන්න. එයින් ඉදිමුම සහ වේදනාව අඩු වේ. 
  • හොඳින් ජලය පානය කරන්න. එහෙත් ඇල්කොහොල් අඩංගු පාන වර්ග, කැෆේන් අඩංගු පාන වර්ග, කෝලා පාන වර්ග සහ උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළකී සිටින්න. බට වලින් බීම් වර්ග පානය කිරීමෙන් වැළකී සිටින්න. 
  • පළමු පැය 24 තුළ මෘදු ආහාර (යෝගට්, ජෙලි වැනි) ලබාගන්න. ඝන ආහාර සහ අධික මිරිස් යෙදූ ආහාර ගැනීමෙන් වැළකී සිටින්න. 
  • පළමු පැය 24 තුළ දත් මැදීමෙන් හෝ මුඛ සේදුම් දියර භාවිතයෙන් වැළකී සිටින්න. පසු දින සාමාන්‍ය පරිදි දත් මදින්න. එහෙත් තුවාලය අසල තදින් මැදීමෙන් වළකින්න. සෑම ආහාර වේලකටම පසුව මද උණුසුම් ලුණු වතුරෙන් කට සෝදන්න. 
  • ඔබ දුම් පානය කරන කෙනෙක් නම් ශල්‍යකර්මයෙන් දින 3ක් ගතවන තෙක් දුම්පානයෙන් වළකින්න. දුම්කොළ සැපීම සිදු කරනවා නම් සතියක් යනතෙක් එයින් වැළකී සිටින්න. 
  • වෛද්‍යවරයා විසින් ලබාදෙන වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ උපදෙස් පරිදි භාවිතා කරන්න.

මෙම ශල්‍යකර්මයෙන් සංකූලතා කිහිපයක් ඇතිවිය හැකියි. නිසි පරිදි තුවාලය සුව නොවීම ඉන් එකක්. සතියක් පමණ ගත වුණත් නිසි පරිදි තුවාලය සුව නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම වැදගත්. 

ඒ වගේම මෙම දත ආසන්නයෙන් මුහුණේ පහළ කොටසේ සංවේදනය සඳහා වැදගත් වන ස්නායුවක් ගමන් කරනවා. එම නිසා ශල්‍යකර්මයට පෙර එම ස්නායුව පිහිටා ඇති ආකාරය නිවැරදිව සොයාගැනීම වැදගත්. ඒ වගේම ශල්‍යකර්මය අතරතුර මෙම ස්නායුවට හානි සිදුවෙන්න පුළුවන්. මෙම හානිය බොහෝවිට තාවකාලිකයි. එම නිසා ශල්‍යකර්මයට පෙර ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසා දැනගැනීමත් වැදගත්. 

Sunday, May 24, 2015

ඥාණ දත්.... (Wisdom Teeth) -I

ඥාණ දත් කියන්නෙ මොනවද? ඥාණ දත් කියන්නේ හනු වල කෙළවරේම එන දත් වලට. සාමාන්‍යයෙන් මේ දත් හතරක් තියෙනවා. උඩ හනුවේ හා යට හනුවේ 2 බැගින්. මේ දත් එන්නේ වයස 18-24 අතර කාලයේ. ඉතින් මේ දත පසු කාලීනව එන නිසා විව්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. 

  • මේ දත් අස්ථිය හෝ විදුරුමස් තුළ ගිලී පවතින්න පුළුවන්. අවුරුදු 24 ට පස්සෙ තාමත් මේ දත් ඇවිත් නැත්තම් ගොඩක් වෙලාවට මේ හේතුව නිසා වෙන්න පුළුවන්. 
  • දත් පැත්තකට ඇද වෙලා එන්න පුළුවන්. මේ නිසා ඒ දත අනෙක් දත් වලට තද වීමෙන් ඒ අනෙක් දත් වලට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. 
  • ඒ දත් හනුවේ කෙළවර පිහිටා තිබීම නිසා පිරිසිදු කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දත් පහසුවෙන් නරක් වීමට පුළුවන්. 
  • එ වගේම පිරිසිදු කිරීම අපහසු නිසා ඒ අවට විදුරුමස් නිතර ආසාදනය වෙන්න පුළුවන්. මේ නිසා දැඩි වේදනාවක් හටගන්නවා. 
විදුරුමස් ආසාදිත තත්වයට පත්වුණ දතක් තමයි මේ රූපයෙන් දැක්වෙන්නෙ. 



මේ වගේ අපහසුතා ඇතිවීම නිසා මේ දත ගලවා ඉවත් කරන්න වෙනවා. අස්ථිය තුල ගිලී ඇති නිසා මෙය සාමාන්‍ය විදියට ගලවා ඉවත් කරන්න බැහැ. ඒ සඳහා සුළු ශල්‍යකර්මයක් කළ යුතුයි. එම දත ආසන්නයේ කුඩා කැපුමක් දමා දත වටේ ඇති අස්ථිය ඉවත් කිරීමෙන් ඒ දත ගලවා ඉවත් කරන්න පුළුවන්.

එක් දතක් පමණක් මේ විදියට ඉවත් කරනවා නම් හිරි වට්ටල කරන්න පුළුවන්. ඒත් දත් 4ම මේ විදියට ගලවා ඉවත් කරනවා නම් බොහෝවිට සිහි නැති කරලා තමයි කරන්නෙ. 

මෙම ශල්‍යකර්මයට පෙර එක්ස් රේ පරීක්ෂණයක් කිරීම අනිවාර්යයි. යටි හනුවේ මෙම දතට ආසන්නයෙන් ස්නායුවක් ගමන් කරනවා. එම නිසා ඒ ස්නායුව දතට කොපමණ ළඟින් පිහිටා තිබෙනවාදැයි දැනගන්න එක්ස් රේ පරීක්ෂණය ඉතාම වැදගත්. 

ශල්‍යකර්මයට පෙර ඔබ ඔබේ වෛද්‍යවරයාට ඔබට ඇති රෝගි තත්ව, ඔබ ලබාගන්නා බෙහෙත්, ඔබට ඇති ආසාත්මිකතා (allergies) දන්වා සිටීම වැදගත් වෙනවා. 

මෙම ශල්‍යකර්මය සඳහා සාමාන්‍යයෙන් විනාඩි 30-45ක් තමයි ගත වෙන්නේ. මෙය ඉතා සුළු ශල්‍යකර්මයක් වුණාට සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. එම් සංකූලතා ගැන වගේම ශල්‍යකර්මයෙන් පසු කල යුතු දේවල් ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.