Showing posts with label දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity). Show all posts
Showing posts with label දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity). Show all posts

Friday, April 3, 2015

දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)

දන්ත සංවේදීතාවය, සාමාන්‍ය වචනයෙන් කියනවානම් "දත් හිරිවැටීම" අද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. දත් හිරිවැටීම ප්‍රධාන වශයෙන් ගත්තාම අවස්ථා 5කදී ඇති වෙන්න පුළුවන්.
  • අධික සීතල ආහාර හෝ පාන ගන්න අවස්ථා වලදී 
  • අධික උණුසුම් ආහාර හෝ පාන ගන්න අවස්ථා වලදී
  • ඇඹුල් රසැති ආහාර හෝ පාන ගන්නා අවස්ථා වලදී 
  • පැණි රසැති ආහාර හෝ පාන ගන්නා අවස්ථා වලදී 
  • දත් එකිනෙක ගැටෙන විටදී හෝ දිව දත් හා ගැටෙන විටදී 
මේ හැරුණුකොට ඉහත කිසිම හේතුවක් නැතුව වුණත් දත් හිරිවැටෙන්න පුළුවන්. දත් හිරිවැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට හේතු හොයද්දි නම් දතේ ව්‍යුහය ගැන සලකලා බලන්න වෙනවා.


දතක් හැදිලා තියෙන්නේ ජීවී සහ අජීවී කියන පටක දෙකම එකතු වෙලා. දතක පිටතින්ම තියන පටකය තමයි එනමලය (enamel) කියන්නේ. එනමලය අජීවී පටකයක්. ඊට ඇතුලතින් තියෙන්නේ දන්තිනය (dentine). එය නම් ජීවී පටකයක්. දන්තිනය ජීවී පටකයක් නිසා එය ආරක්ෂා කරගන්න එනමලයෙනුත්, දතේ මුල කොටස cementum යනුවෙන් හැඳින්වෙන පටකයෙනුත් ආවරණය වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට දන්ත සවේදීතාවයට හේතු වෙන්නේ ආරක්ෂිත පටක විනාශ වී යාම නිසා දන්තිනය නිරාවරණය වීම.

දන්තිනය නිරාවරණය වීමට හේතු රාශියක් තියෙනවා.


  • ඉතාම තදින් දත් මැදීම නිසා එනමලය විනාශ වී යාම.
  • අයහපත් මුඛ සෞඛ්‍ය නිසා දත් වල මැලියම් බැඳීම.
  • දත් නිතර එකිනෙක ගැටීම වැනි හේතු නිසා එනමලය විනාශ වීම. 
  • ප්‍රතිකාර නොකරන ලද දත් කුහර පැවතීම 
  • දෝෂ සහිත පිරවුම්.
  • විදුරුමස් රෝග (මෙය සාමන්‍ය ව්‍යවහාරයේ  නම් හැඳුන්වන්නේ දත් මුල් දියවීම නමින්.)
  • දත් වඩා සුදු පැහැයට පත් කර ගැනීම සඳහා සිදු කරන ප්‍රතිකාර ක්‍රම ( Whitening and Polishing)
  • නිතරම බොහෝ ආම්ලික ආහාර පාන ගැනීම, 
මෙන්න මේ හේතු නිසා තමයි බොහෝ වෙලාවට දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ.
  • ඉතාම තදින් දත් මැදීම නිසා එනමලය විනාශ වී යාම.
ගොඩක් අය අතරෙ තියන වැරදි මතයක් තමයි දත් හොඳින් පිරිසිදු වෙන්නේ තදින් දත් මැද්ද තරමටයි කියලා. ඒත් එහෙම වෙන්නේ නම් නැහැ. ආහාර ගත්තට පස්සෙ දත් වල රැඳෙන් මැලියම් ඉවත් කරන්න සිනිඳු කෙඳි සහිත (soft) දත් බුරුසුවක් භාවිත කිරීම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මුළු ඇඟේම බර යොදලා දත් මදින්න අවශ්‍ය නැහැ. අනවශ්‍ය බලයක් යොදලා දත් මැද්දම එනමලය විනාශ වෙන නිසා දන්තිනය නිරාවරණය වීමෙන් දන්ත සංවේදීතාවය ඇති වෙන්න පුළුවන්.




  • අයහපත් මුඛ සෞඛ්‍ය නිසා දත් වල මැලියම් බැඳීම.
දත් වල මැලියම් බැඳිලා ඒවා දීර්ඝ කාලයක් තිස්සේ ඉවත් කරන්නේ නැතුව තියනකොට ඒ මැලියම් ඝන වෙලා දත් වලට තදින් බැඳෙනවා. එතකොට දත් බුරුසුවකින් ඒ මැලියම් ඉවත් කරන්න අමාරුයි. මේ ඝන වෙච්ච මැලියම් හෙවත් calculi තමයි විදුරුමස් රෝග වලට මූලික හේතුව වෙන්නේ. මේ තත්වය ඇති වුණාම අපි දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිහින් දත් පිරිසිදු කරගන්න එක වැදගත් වෙනවා. එහෙම නැත්තම් විදුරුමස් රෝග ඇති වෙලා විදුරුමස් දිය වුණාම දත් මුල් නිරාවරණය වෙනවා. දත මුල ආවරණය වෙලා තියෙන cementum කියන පටකය හරිම තුනී පටකයක්. එම නිසා එය ඉතාම පහසුවෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා විදුරුමස් ආරක්ෂා කර ගැනීමත් වැදගත් වෙනවා. 

  • දත් නිතර එකිනෙක ගැටීම වැනි හේතු නිසා එනමලය විනාශ වීම. 
මෙයට නම් ප්‍රධාන හේතුවක් දත් මිටි කෑම. තරහ ගියාම කෙරෙන දත් මිටි කෑම විතරක් නෙවෙයි. නින්දේදී අපි නොදැනුවත්වම දත් මිටි කෑම සිදු කෙරෙනවා. මේ වගේ තත්වයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැමීම වැදගත්. එවනි අයගේ දත් පහත ආකාරයට තමයි දිස් වෙන්නේ.


ඒ වගේම මෙහි දක්වා තියෙන අනෙකුත් හේතු නිසාත් වෙන්නේ එනමලය විනාශ වීම නිසා දන්තිනය නිරාවරණය වීමෙන් සංවේදීතාවය හට ගැනීමයි. 
නිතරම බොහෝ ආම්ලික ආහාර පාන ගැනීම නිසා දන්තිනය නිරාවරණය වෙන්න පුළුවන්. මෙතනදී අධික ආම්ලික ආහාර පාන වලට උදාහරණ වශයෙන් පලතුරු යුෂ (දෙහි යුෂ, දොඩම් යුෂ, ඇපල් යුෂ)  කාබනීකෘත බීම වර්ග (උදා: කෝලා වර්ගයට අයත් පාන) වයින්, බියර් ආදිය හඳුන්වන්න පුළුවන්. 

ප්‍රතිකාර 

මේ සඳහා කළ හැකි ප්‍රතිකාර නම් රාශියක් තියෙනවා. ඒත් ඉතාම වැදගත් වන්නේ මේ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන්න කලින් වෛද්‍ය උපදෙස් පැතීමයි. ඔබේ දන්ත සංවේදීතාවයට බලපාන හේතුව ගැන දන්නේ නැතුව පහත දක්වා ඇති ප්‍රතිකාර ක්‍රම මොන තරම් අත්හදා බැලුවත් වැඩක් වෙන්නේ නෑ.  


දත් පිරිසිදු කර ගැනීම මේ සඳහා ඇති එක් ප්‍රතිකාර ක්‍රමයක්. ඔබේ දන්ත වෛද්‍යවරයා හමු වීමෙන් ඔබට එය සිදු කරගන්න පුළුවන්. ඉන් පසුව වෛද්‍ය උපදෙස් මත ෆ්ලෝරයිඩ් අඩංගු මුඛ සේදුම් දියරයක් (mouthwash) භාවිතා කරන්න පුළුවන්.

ඒ වගේම සංවේදී දත් සඳහා සකස් කර ඇති විශේෂ දන්තාලේප වර්ග භාවිතා කිරීමෙනුත් යහපත් ප්‍රතිඵල අත් කර ගත හැකියි.

මෙම ක්‍රමවේද මගින් සංවේදීතාවය සුව වුණේ නැත්තම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මක් නිසාද යත් ඔබේ දන්ත සංවේදීතාවය වෙනත් කිසියම් රෝගී තත්වයක් (උදා: ආමාශගත රෝග)  නිසා ඇති විය හැකි නිසා.

යහපත් මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම මගින් මේ ගොඩක් තත්ව වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. අනෙකුත් ප්‍රතිකාර ක්‍රම වලට වඩා දන්ත රෝග ඇතිවීම වළක්වා ගැනීමයි ඉතාම වැදගත් වෙන්නෙ..