Friday, June 26, 2015

... ගබ්සාව....




විනාඩි 20ක් විතර තිස්සේ මහන්සි වෙලා, ගල් ගෙඩියක් වගේ දතක් ගලවලා හෙම්බත් වෙලා හිටපු මම ඒ රෝගියා පිටත් වුනාට පස්සේ පුටුවට හේත්තු වුනා...

එදා දවසට මට එහෙම අහු වුන දෙවැනි දත තමයි ඒ..
කොච්චර අමාරු වුනත් එහෙම එකක් ගැලෙව්වම තියෙන සතුට ඉතින් කියල නිම කරන්න නම් බෑ..
මහන්සි වෙලා හිටපු මම පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න හදනකොටම, තව කවුද එන සද්දයක් ඇහුනා..

ඩොක්ට ඉන්නවද දන්නේ නෑ නේද ?
දොරෙන් බාගෙට වගේ එබුන මැදිවයසේ වගේ ගෑනු කෙනෙක් මගෙන් එහෙම ඇහුවා..

ක්ලිනික් එකට එන ගොඩක් අය මගෙන් ඩොක්ට ඉන්නවද කියල අහන එක දැන් මට පුරුදු දෙයක්.. 

ඔව්..මම තමයි ඩොක්ට .. මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ ??
ආපු හිනාව තද කරගෙන මම එහෙම ඇහුවා..

ඩොක්ට මෙතන දත් සම්බන්ධ දේවල් විතරද කරන්නේ ??

ඔව් ඉතින්.. ඔය බෝඩ් එකේ තියෙන්නේ.. මම කිව්වේ බෝඩ් එක දිහාට අත දික් කරලා..

නෑ අපේ අක්ක කෙනෙක් කිව්වා.....
ඊට පස්සේ පොඩි නිහැඬියාවක්..

මොකද්ද කිව්වේ ??

නෑ මේ .... මේ....
එපාර එයා මගේ ඇස් දිහා කෙලින්ම බලනවා ..

මට වැඩේ තේරුණා... මීට කලිනුත් මේ වගේ කෙනෙක් පාර වරද්දාගෙන මෙතනට ඇවිත් තිබූන නිසා..

ඔයා අහන්න හදන්නේ බබාලා සම්බන්ධ දෙයක්ද ??

ඔව් ඔව් ඩොක්ට..
මෙතැන එහෙම ඒවා කරනවද ??

අපෝ නෑ.. අපි නම් ඕව කරන්නේ නෑ..
කාටද ඔයාටද ?
(මේ මනුස්සයට නම් වෙන්න බෑ.. දූටවත් වෙන්න ඇති කියල මට හිතුනා ..)

ඔව් ඩොක්ට ..

අපොයි ..
ඇයි ඉතින් නැති කරගන්න හදන්නේ ?
ඇස් දෙකේ කඳුළු පුරවගත්ත ඒ මනුස්සය මගෙන් අහන්නේ නැතුවම එතැන තිබුන පුටුවේ වාඩි වුනා..

මගේ මහත්තය කටාර් ඉන්නේ ..
ළඟදී ඇවිත් ඉඳලා දැන් පිටත් වෙලා සති 3ක් විතර වෙන්නේ ..
මේක එයාට කිව්වට එයා එයාගේ කියල විශ්වාස කරන එකක් නෑ සර්..

දැන් ඔයා ඕක දැනගෙන කොච්චර කල්ද ?
ඇයි ඉතින් ඔයාට ඕක මහත්තයට තේරුම කරලා දෙන්න බැරි ?
ඇස් දෙකේ කඳුළු පුරවගත්තත්, මේ මනුස්සය මේ කියන්නේ නම් අලි කෙප්පයක් කියල මගේ හිත මට කියනවා..

එයාට කියල වැඩක් නෑ සර්.. විශ්වාස කරන එකක් නෑ ..
මගේ ලොකු දුව මේ අවුරුද්දේ උසස් පෙළ කරනවා ..
පොඩි දුව මොන්ටිසෝරි..
ලොකු දුවට මගේ ගැන මොනවා හිතෙයිද සර්..

ඉතින් දැන් ඔයාට වයස කීයද ?
(මේක නම් හොර සීන් එකක් වෙන්නම ඕන .. මට හිත ආයෙමත් කියනවා )

මට 41ක් වෙනවා සර්..

අපොයි.. 41 කියන්නේ ළමයි හදන වයසක්ද ...
මට නිකන්ම කියවුනා..
ටික වෙලාවක් සද්ද නැතුව හිටිය ඒ මනුස්ස ආයි කියවන්න ගත්තා..

මට හොඳටම සීනිත් තියෙනවා ..
තුන්සිය ගානයි ගිය සතියේ බලද්දී ..

මෙහෙමයි ..
ඔයා දන්නවා නේද දරුවෙක් නැති කරනවා කියන එක පවක් කියලා ..
ඒවා මේ රටේ නීත්‍යානුකූල නැහැ කියලත් දන්නවා නේද ??

දන්නවා ඩොක්ට ..
මට වෙන කරන්න දෙයක් නැහැ ..

දැන් ඒ මනුස්සයාගේ කඳුළු ශීඝ්‍රතාවේ වැඩි වෙනවා වගේ දැනෙනවා ..
කොහෙවත් යන මරාලයක් මගේ ඔලුවට කඩන් පාත් වෙන්න යන බව තේරුනත් ඒ මනුස්සයව එලවගන්නවට වඩා මට කරන්න දෙයක් තියෙනවා කියල මට හිතුනා..

අනේ ඩොක්ට දන්නවා නම් මට ඒ තැන කියන්න ..
ලොකුම පිනක් .. මම හොඳටම අසරණ වෙලා ඉන්නේ ඩොක්ට ..

අපොයි .. මම එහෙම තැනක් දන්නේ නැහැ ..
දැනගත්තත් ඔයාට කියන්නෙත් නැහැ ..
ඔයා ඔය විස්තර ගිහින් හොස්පිටල් එකට කියන්න ..
මට ඕවට කරන්න කිසිම දෙයක් නැහැ ..

මම VOG සර්ව හම්බෙන්න යන්න තමයි හිටියේ සර්..
ඒත් මෙහෙම තැනක් තියෙනවා කියල දැනගත්ත නිසා මම මෙතනට ආවේ ..

අනේ මේ අපි නම් ඕව කරන්නේ නැහැ..
ඔයා ගිහින් ඕක කියන්න හොස්පිටල් එකේ...
සමහරවිට ඔයාගේ වසයසයි ඔය සීනි තත්ත්වෙයි සලකල බලල එයාල හොඳ දෙයක් කරාවි..

හොස්පිටල් එකෙන් එයාට සහනයක් නොලැබෙන බව ෂුවර් වුනත් , එතනින් මට වඩා හොඳට මේ ප්‍රශ්නේ මැනේජ් කරයි කියල හිතුන නිසා මම එහෙම කිව්වා ..

එයාල එහෙම කරයිද ඩොක්ට ?
මම එහෙනම් හොස්පිටල් යන්නද ?
ඒ මනුස්සයාගේ ඇස්වල බලාපොරොත්තු පිරිලා..

හ්ම්ම් එහෙනම් එහෙම කරන්න ..
වෙන තැන්වලට නම් යන්න එපා.. ඒවගේ තැන්වල සුදුසුකම් තියෙන වෛද්‍යවරු නැහැ ..
මොනවා හරි වුනොත් ඔයාගේ ජීවිතේටත් හානි වෙන්න පුළුවන් .. හරිද ??

හරි සර් ... ගොඩක් පින් සර් ..

හ්ම්ම්..දැන් ඔයා යන්න..

ඒ මනුස්සය ගියාට පස්සේ මම මගේ වෛද්‍ය යාලුවෙක්ට ඇමතුමක් ගත්තා...
ඒ , හොස්පිටල් එකෙන් මේ වගේ තත්ත්වයක් කොහොමද මැනේජ් කරන්නේ කියල අහන්න...

ඉතින් ඒ යාලුවගෙන් විස්තරේ අහගත්ත මම, අනාගතේ උපදින ඒ දරුවාගේ ජීවිතේ මොන වගේ වෙයිද කියල කල්පනා කරන්න පටන් ගත්තා...



ලිව්වෙ රවින් යසිත..