Friday, April 17, 2015

දත් නරක් වෙන හැටි...

දත් වලට සම්බන්ධ ප්‍රධානම රෝගය තමයි දත් නරක් වෙන එක. මේක හරිම සුලබ රෝගී තත්වයක්. දත් නරක් වීම ගැන තමයි අද කතා කරන්න යන්නේ. 

දත් නරක් වෙනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන ක්‍රියාවලියෙදි වෙන්නේ බැක්ටීරියා කාබෝහයිඩ්‍රේට් මත ක්‍රියා කරලා නිපදවෙන අම්ලය නිසා දතේ පටක විනාශ වෙන එක. ඒ කියන්නේ දතේ තියෙන දෘඩ පටක (Hard Tissues) විඛාදනය වෙන එක.  මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න ප්‍රධාන සාධක 4ක් තියෙන්න ඕනෙ. ඒ තමයි 

  1. කාබෝහයිඩ්‍රේට් 
  2. බැක්ටීරියා 
  3. දතක පෘෂ්ඨය 
  4. කාලය 
මේ සාධක 4ම සම්පූර්ණ වුණොත් තමයි දත නරක් වෙන ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ දත් නරක් වීම පටන් ගන්නේ එනමලයෙන්. එනමලය විඛාදනය වෙන්න පටන් ගත්තාම ඒක පේන්නේ සුදු පාට ලපයක් විදිහට. පහත රූපයේ විදියට තමයි පේන්නේ. ඒත් මේක පිටුපස දත් (හක්කේ දත්) වල නම් මේ තත්වයේ තියෙද්දි අඳුරගන්න අමාරුයි. 

මේ තත්වයේදි නම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නෑ. ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් යොදාගෙන දිනපතා  දත් හොඳින් පිරිසිදු කරගැනීම ප්‍රමාණවත්. 

ඒත් එසේ නොකර හිටියොත් මේ තත්වෙට පත් වෙන්න පුළුවන්. 


මේ තත්වෙදි නම් අනිවාර්යයෙන් දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ප්‍රතිකාර ලබාගැනීම කල යුතුයි. බොහෝවිට මෙහිදි සාමාන්‍ය පිරවුමක් කරන්න පුළුවන්. 

මේ සඳහාත් ප්‍රතිකාර කරන්නේ නැතුව හිටියොත් එහෙම දත පහත රූපයේ තත්වයට පත් වෙනවා. 


මෙම තත්වයේ තියෙන දතකට නම් සාමාන්‍ය පිරවීමක් කරන්න බැහැ. ඒ සඳහා බොහෝ වෙලාවට ස්නායු පිරවීමක් කල යුතුයි, එහෙම නැත්තම් දත ගලවා ඉවත් කරන්න වෙනවා. 

මේ ක්‍රියාවලිය මෙසේ සාරාංශගත කරන්න පුළුවන්.


ඒ නිසා දත නරක් වෙන්න පටන් ගන්න මුල් අවස්ථාවේදීම ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයක් වලට යොමුවීම හරිම වැදගත්. 

සමහර වෙලාවට මේ දත් කුහර අපිට නොපෙනී තියෙන්න පුළුවන්. ඉතින් දත් නරක් වීමේ අනෙකුත් රෝග ලක්ෂණ ගැන දැනුවත් වීම වැදගත්. 

  • දත් වල වේදනාව/ දත් කැක්කුම 
  • දත් හිරිවැටීම 
  • ශීත හෝ උණුසුම් ආහාර පාන ගැනීමේදී දතේ වේදනාවක්/හිරිවැටීමක් ඇතිවීම. 
  • දත් මතුපිට කළු හෝ දුඹුරු පැහැ ලප ඇතිවීම. 


මේ ලක්ෂණ එකක් හෝ කීපයක් තියෙනවානම් දත් කුහර නැති වුණත් ඔබේ දත් නරක් වෙන්න පටන් අරන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වනවා. 

Thursday, April 9, 2015

කැක්කුම නැති දත් ගලවන්නේ මොකටද?


මේ සිදුවීම වුණේ මීට මාසෙකට විතර ඉස්සර... අපි රෝගීයාට සමන් කියමු... 


මම -: එන්න වාඩිවෙන්න. අද මොකක් නිසාද ආවේ?

 සමන්-: මගෙ කටේ ගෙඩියක් ඇවිත්.

මම: දැන් දවස් කීයක් වෙනවද? රිදෙනවද එතන? 

සමන්-: නැහැ. පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ. 

මම-: කට අරින්න අමාරුද? 

සමන්-: නැහැ. එහෙම අමාරුවකුත් නැහැ. 

පරීක්ෂා කරලා බලනකොට එතන තිබුණේ හොඳටම නරක් වෙච්ච දතක්. දතෙන් විෂබීජ ගිහින් තමයි එතන් ගෙඩියක් ඇවිත් තිබුණේ. තව බෙල්ලේ කුද්දටි කිහිපයකුත් තිබුණා. ඒ කියන්නේ තත්වෙ ටිකක් බරපතලයි.. 

මම-: ඔයාගේ කටේ ගෙඩිය තියන තැන තියන දත හොඳටම නරක් වෙලා. ඒ නිසයි ගෙඩියක් ඇවිත් තියෙන්නේ. ඒ ගෙඩිය පළලා සැරව අයින් කරන්න වෙනවා. ඒ වගේම දත ගලවන්නත් වෙනවා. දත ගැලෙව්වෙ නැත්තම් නැවත නැවතත් ඒ ගෙඩිය එන්න පුළුවන්. 

සමන්-: ඒවුණාට මට රිදෙන්නෙ නෑනේ. ඇයි දත ගලවන්නෙ? 

මම-: රිදෙන්නෙ නැති වුණාට ඒ දත හොඳටම නරක් වෙලානේ. එතනින් හැම වෙලේම විෂබීජ යනවා. ඒ නිසා තමයි ගෙඩියකුත් ඇවිත් තියෙන්නේ. තව බෙල්ලේ කුද්දටිත් තියෙනවනේ. ඒ කියන්නේ දත ගලවන්නම වෙනවා. 

සමන්-: දත ගලවන්න ඕනෙ නැහැ. රිදෙන්නෙ නෑනේ.. රිදුනොත් මම ඇවිත් ගලවගන්නම්. 

මම-: නිතරම විෂබීජ යන එක එච්චර හොඳ නැහැ. ඔහොම දිගටම විෂබීජ ගියොත් බෙල්ල ඉදිමිලා හුස්ම ගන්නත් අමාරු වෙයි. 

සමන්-: ඒත් දැන් මට දත රිදෙන්නෙ නෑනේ.. මම රිදුනොත් ඇවිත් ගලවගන්නම්. 

කොච්චර පැහැදිලි කරලා දුන්නත් මෙයා දත ගලවන්න නම් කැමති වුණේ නැහැ.. අපි කිහිප දෙනෙක් ඇවිත් තේරුම් කළත් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඉතින් බැරිම තැන මම ගිහින් සර්ට කිව්වා. සර් ඇවිත් පරික්ෂා කළා. සර්ගේ අදහස වුණෙත් දත ගලවන්න ඕනේ කියන එක. සර් කොච්චර කිව්වත් ඔහු කැමති වුණේ නැහැ දත ගලවන්න. හේතුව වශයෙන් කිව්වෙ ඔහුට රිදෙන්නෙ නැති එක. 

සර්-: පේෂන්ට් කැමති නැත්තම් අපිට දත ගලවන්න බැහැනේ.. ෆයිල් එකේ පේෂන්ට් කැමති නැහැ කියලා ලියලා පේෂන්ට් යවන්න... 

වෙන කරන්නම දෙයක් නැති තැන ෆයිල් එකේ එහෙම ලියලා පේෂන්ට්ව යැව්වා. පුළුවන් තරම් ඉක්මනට දත ගලවගන්න කියලා උපදෙස් දුන්නත් ඔහු කිව්වෙ කැක්කුම ආවොත් ගලවන්නම් කියන එක... 

ඔහුට මොකක් වුණාද දන්නේ නැහැ... කෙනෙක්ට වේදනාවක් දැනෙන්න කියලා කිසිම වෙලාවක ප්‍රාර්ථනා නොකරන මට මෙයාට නම් ඉක්මනට වේදනාව දැනෙන්න කියලා ප්‍රාර්ථනා  නොකර ඉන්න බැරි වුණා...

වේදනාව කියන්නේ හැම රෝගෙකම රෝග ලක්ෂණයක් නෙවෙයි. මුඛ පිළිකා වලට හැදෙන තුවාල වල නම් වේදනාවක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා වේදනාවක් නැති වුණත් කටේ තුවාලයක්, ගෙඩියක්, වර්ණ වෙනස් වීමක් තියෙනවානම් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම හරිම වැදගත්... 

Monday, April 6, 2015

විදුරුමස් රෝග II (Periodontal Diseases)

කලින් ලිපියෙන් විදුරුමස් රෝග හැදෙන්නේ කොහොමද, විදුරුමස් රෝග වල රෝග ලක්ෂණ ගැන එහෙම කතා කරපු නිසා අද විදුරුමස් රෝග ගැන තවත් වැදගත් තොරතුරු ටිකක් කියන්නම්. 

විදුරුමස් රෝග සඳහා වැඩි අවදානමක් ඇති කරන සාධක කිහිපයක් තියෙනවා. මේ සාධක එකක් හෝ කිහිපයක් තියෙනවානම් ඔබට විදුරුමස් රෝග සෑදීමේ අවදානම වැඩියි. 
  • දුම්පානය: දුම්පානය ඔබට විදුරුමස් රෝග ඇති කිරීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම විදුරුමස් රෝග සඳහා කෙරෙන් ප්‍රතිකාර වල කාර්යක්ෂමතාවයටත් දුම්බීම බලපානවා. ඔබ නිතර දුම්පානය කරන කෙනෙක් නම් මේ ප්‍රතිකාර වලින් කිසිම ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. 
  • හෝමෝන අසමතුලිතතා: විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස් වීම විදුරුමස් රෝග් සඳහා බලපාන්න පුළුවනි. 
  • දියවැඩියාව: පාලනය නොකරන් ලද දියවැඩියා තත්වය නිසා විදුරුමස් රෝග සඳහා කෙරෙන ප්‍රතිකාර වලින් යහපත් ප්‍රතිඵල නොලැබෙන්න තිබෙන හැකියාව වැඩියි. 
  • අනෙකුත් රෝගී තත්ව: විශේෂයෙන්ම ඒඩ්ස්, පිළිකා වැනි රෝගී තත්ව නිසාත් විදුරුමස් රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. 
  • විවිධ බෙහෙත් වර්ග: උපත් පාලන පෙති, විශාදය (depression) සඳහා ලබාගන්න බෙහෙත් වර්ග (anti depressants) සහ හෘද රෝග සඳහා ලබාගන්න සමහර බෙහෙත් වර්ග මේ සඳහා හේතු වෙන්න පුළුවන්. 
  • ජානමය හේතු 
  • මානසික ආතතිය 
  • මන්දපෝෂණය 
  • ස්ථූලතාවය 
ඔය වගේ විවිධ හේතු විදුරුමස් රෝග ඇති වෙන්න බලපාන අවදානම් සාධක විදියට ක්‍රියා කරනවා. 

සාමාන්‍යයෙන් විදුරුමස් රෝග වැඩිපුර දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 30ට වඩා වැඩි පිරිමි අයගේ බවයි පර්යේෂණ වාර්තාවල සඳහන් වන්නේ. 

විදුරුමස් රෝග වල රෝග ලක්ෂණ කලින් ලිපියේ දක්වා තිබෙනවා. ඔබට එම රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. 

විදුරුම රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ, මුබ සේදුම් දියර ආදිය භාවිතා කරන්න ඕනේ වෛද්‍ය උපදෙස් යටතේ පමණයි. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඒ සඳහා යොමුවීම සුදුසු නැහැ. 

දත් බුරුසුවකින් දත් මැදීමට ආදේශකයක් විදියට මුඛ සේදුම් දියර භාවිතා නොකළ යුතුයි. මුඛ සේදුම් දියරයෙන් දත් වල් බැඳී ඇති මැලියම් ඉවත් වන්නේ නැහැ. ඒ නිසා දත් බුරුසුවකින් දත් මැදීම අත්‍යවශ්‍ය වෙනවා. 

විදුරුමස් රෝග වළක්වා ගැනීම සඳහා පහත දක්වා ඇති උපදෙස් අනුගමනය කරන්න පුළුවන්. 

  • සිනිඳු කෙඳි ඇති (soft) බුරුසුවකින් දවසට දෙවරක් දත් මැදීම. මේ සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් පාවිච්චි කරන්න. 
  • සෑම මාස 6කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා ඔබේ දත් පරීක්ෂා කරගෙනීම. 
  • දුම් පානයෙන් වැළකීම.
  • දියවැඩියා තත්වය පාලනය කර ගැනීම. 
විදුරුමස් රෝග වළක්වා ගැනීම මගින් දිගු කාලයක් පවතින් සුන්දර සිනහවකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්. 



විදුරුමස් රෝග ගැන වගේම අනෙකුත් ගැටලු ගැනත් අපිට ලියන්න. මේ සඳහා කමෙන්ට් වගේම, මේ පිටුවේ උඩින්ම දක්වා තිබෙන ඊමේල් ලිපිනයත් භාවිත කරන්න ඔබට පුළුවන්. 



Sunday, April 5, 2015

විදුරුමස් රෝග I (Periodontal Diseases)

"අන්න අදත් අර චානකය එනව. ඉක්මනට කොහාට හරි මාරු වෙමු." 

"ඔව් බං. ඌට අහු වුණාම කියවිල්ල ඉවරයක් "

"කියවිල්ල නම් කමක්  නැහැ කියමු. උගෙ කටේ ගඳ තමයි ඉවසන්න බැරි..." 

මෙවැනි කතා ඔබ එදිනෙදා අහලත් ඇති. කියලත් ඇති. අත්විඳලත් ඇති. මේ තත්වය අත්විඳින්නාට වගේම රෝගියාටත් ඉතාම අප්‍රසන්න, මානසික් පීඩාවක් ගෙන දෙන තත්වයක්. මුඛයෙන් දුර්ගන්ධයක් හැමීමට හේතුවන ප්‍රධාන හේතු රාශියක් තියෙනවා. එයින් ඉතාම සුලබ රෝගී තත්වයක් ගැන තමයි අද ඔබවෙත තොරතුරු ගෙන එන්නේ. ඒ තමයි විදුරුමස් රෝග. 

ශ්‍රී ලංකාවාසීන්ගෙන් 70%කටත් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60 වන විට සම්පූර්ණයෙන්ම දත් නොමැති තත්වයට පත් වන් බව වාර්තාවක සඳහන් වෙනවා. මේ සඳහා හේතු වෙන්නේ විදුරුමස් රෝගයි. විදුරුමස් රෝග නිසා සිදුවන දත් අහිමි වී යාම, දත් නරක් වීම නිසා සිදුවන දත් ගැලවී යාමට වඩා වැඩියි කියලයි පර්යේෂණ වාර්තා වල සඳහන් වෙන්නෙ. 

විදුරුමස් රෝග වලට ප්‍රධානම හේතුව වෙන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මැලියම් කියලා හඳුන්වන දෙය. එය හඳුන්වන නිවැරදි නම "දන්ත පථ" (dental plaque) යන්නයි. මෙය සමන්විත වන්නේ බැක්ටීරියා වලින්. සාමාන්‍යයෙන් මෙය ඇලෙන සුළු අවර්ණ ද්‍රව්‍යයක්. මෙය බොහෝ විට රැඳෙන්නේ දත් හා විදුරුමස් අතරයි. (රූපයේ දක්වා ඇති පරිදි) ඒ වගේම දත් අතර හා දත් මතුපිටත් මෙම මැලියම් රැඳී තිබෙනවා. 

මෙම මැලියම් සාමාන්‍ය දත් බුරුසුවකින් හොඳින් මැදීමෙන් ඉවත් කරගත හැකියි. සිනිඳු කෙඳි සහිත දත් බුරුසුවක් මේ සඳහා හොඳටම ප්‍රමාණවත්. දවසට දෙසැරයක් පමණ ආහාර ගැනීමෙන් පසුව දත් පිරිසිදු කර ගැනීම වැදගත් වනවා. 

නමුත් මෙම මැලියම් දිගු කාලයක් ඉවත් කිරීමෙන් තොරව පැවතුනහොත් එවා ඝන තත්වයට පත් වෙනවා. එවිට සාමාන්‍ය දත් බුරුසුවකින් ඒවා ඉවත් කරන්නට බැහැ. දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් දත් පිරිසිදු කරගැනීම මගින් ඝන වූ මැලියම් ඉවත් කරගත හැකියි. 

මැලියම් දිගු කාලයක් තිස්සේ ඉවත් නොකිරීම නිසා විදුරුමස් ප්‍රදාහය (gingivitis) නැමති රෝගී තත්වය ඇති වෙන්න පුළුවන්. මෙය විදුරුමස් රෝග වල මුල් අවස්ථාවයි. මෙහිදී විදුරුමස් රතු වී, ඉදිමුණ තත්වයට පත් වන අතර විදුරුමස් වලින් ලේ ගැලීමද සිදු වෙනවා. මෙය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්වයක්. දත් හා විදුරුමස් ඉතා හොඳින් පිරිසිදුව තබා ගැනීම මගින් එය සුව කරන්න පුළුවන්. දන්ත වෛද්‍යවරයෙක් ලවා දත් පිරිසිදු කරගැනීම පමනක් මෙයට ප්‍රමාණවත් වන්නේ නැහැ. දිනපතා දත් මැදීම මගින් යහපත් මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම ඉතාම වැදගත්. 

විදුරුමස් ප්‍රදාහය (gingivitis) නම් තත්වය දකින්න ලැබෙන්නේ මේ විදියට. 



විදුරුමස් ප්‍රදාහය සඳහා ප්‍රතිකාර නොකල විට එය විදුරුමස් රෝගය බවට පත්වෙනවා. මෙහිදී විදුරුමස් දත් වලින් ඈත් වීම නිසා ඒ අතර හිඩැස් (pockets) හටගන්නවා. නොයෙක් බැක්ටීරියා වලට එහි ඉතා හොඳින් රැඳීමට හැකියි. එවිට දතේ මුල කොටසේත් මැලියම් නිර්මාණය වෙනවා. එම බැක්ටීරියා වල ක්‍රියාවලිය සහ ඒවාට එරෙහිව ශරීරයෙන් සිදු කරන ප්‍රතික්‍රියා නිසා දත් හා අස්ථිය අතර ඇති සම්බන්ධතා බිඳ වැටී දත් බුරුල් වෙන්න පටන් ගන්නවා. මෙය දිගින් දිගටම සිදුවීමෙන් දත් ගැලවී යන්න පවා පුළුවන්. 

අවාසනාවකට මෙය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්වයක් නෙවෙයි. නමුත් ප්‍රතිකාර මගින් තවදුරටත් රෝගය දරුණු වීම වලක්වා ගන්න පුළුවන්. එම තත්වය පහත රූපයෙ පරිදියි. 




මෙය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි නිසා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්. 

ඔබ විදුරුමස් රෝගයකින් පෙළෙනවාදැයි දැනගත හැකි රෝග ලක්ෂණ ගැන අපි දැන් විමසා බලමු. 

  • මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම. 
  • විදුරුමස් රතු වී, ඉදිමී තිබීම. 
  • විදුරුමස් වලින් ලේ ගැලීම.
  • විදුරුමස් ඇඟිල්ලෙන් තද කරනවිට වේදනාවක් ඇතිවීම. 
  • ආහාර ගන්නා විට දත් වලින්වේදනාවක් ඇති වීම. 
  • දත් සෙලවීම. 
  • දත් හිරිවැටීම. 
  • විදුරුමස් දියවී යාම නිසා දතේ මුල කොටස මතුවී තිබීම. 
මෙවැනි තත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර සඳහා දන්ත වෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතාම වැදගත්.

විදුරුමස් රෝග ගැන තවත් තොරතුරු මීළඟ ලිපියෙන්... 

Friday, April 3, 2015

දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)

දන්ත සංවේදීතාවය, සාමාන්‍ය වචනයෙන් කියනවානම් "දත් හිරිවැටීම" අද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. දත් හිරිවැටීම ප්‍රධාන වශයෙන් ගත්තාම අවස්ථා 5කදී ඇති වෙන්න පුළුවන්.
  • අධික සීතල ආහාර හෝ පාන ගන්න අවස්ථා වලදී 
  • අධික උණුසුම් ආහාර හෝ පාන ගන්න අවස්ථා වලදී
  • ඇඹුල් රසැති ආහාර හෝ පාන ගන්නා අවස්ථා වලදී 
  • පැණි රසැති ආහාර හෝ පාන ගන්නා අවස්ථා වලදී 
  • දත් එකිනෙක ගැටෙන විටදී හෝ දිව දත් හා ගැටෙන විටදී 
මේ හැරුණුකොට ඉහත කිසිම හේතුවක් නැතුව වුණත් දත් හිරිවැටෙන්න පුළුවන්. දත් හිරිවැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට හේතු හොයද්දි නම් දතේ ව්‍යුහය ගැන සලකලා බලන්න වෙනවා.


දතක් හැදිලා තියෙන්නේ ජීවී සහ අජීවී කියන පටක දෙකම එකතු වෙලා. දතක පිටතින්ම තියන පටකය තමයි එනමලය (enamel) කියන්නේ. එනමලය අජීවී පටකයක්. ඊට ඇතුලතින් තියෙන්නේ දන්තිනය (dentine). එය නම් ජීවී පටකයක්. දන්තිනය ජීවී පටකයක් නිසා එය ආරක්ෂා කරගන්න එනමලයෙනුත්, දතේ මුල කොටස cementum යනුවෙන් හැඳින්වෙන පටකයෙනුත් ආවරණය වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට දන්ත සවේදීතාවයට හේතු වෙන්නේ ආරක්ෂිත පටක විනාශ වී යාම නිසා දන්තිනය නිරාවරණය වීම.

දන්තිනය නිරාවරණය වීමට හේතු රාශියක් තියෙනවා.


  • ඉතාම තදින් දත් මැදීම නිසා එනමලය විනාශ වී යාම.
  • අයහපත් මුඛ සෞඛ්‍ය නිසා දත් වල මැලියම් බැඳීම.
  • දත් නිතර එකිනෙක ගැටීම වැනි හේතු නිසා එනමලය විනාශ වීම. 
  • ප්‍රතිකාර නොකරන ලද දත් කුහර පැවතීම 
  • දෝෂ සහිත පිරවුම්.
  • විදුරුමස් රෝග (මෙය සාමන්‍ය ව්‍යවහාරයේ  නම් හැඳුන්වන්නේ දත් මුල් දියවීම නමින්.)
  • දත් වඩා සුදු පැහැයට පත් කර ගැනීම සඳහා සිදු කරන ප්‍රතිකාර ක්‍රම ( Whitening and Polishing)
  • නිතරම බොහෝ ආම්ලික ආහාර පාන ගැනීම, 
මෙන්න මේ හේතු නිසා තමයි බොහෝ වෙලාවට දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ.
  • ඉතාම තදින් දත් මැදීම නිසා එනමලය විනාශ වී යාම.
ගොඩක් අය අතරෙ තියන වැරදි මතයක් තමයි දත් හොඳින් පිරිසිදු වෙන්නේ තදින් දත් මැද්ද තරමටයි කියලා. ඒත් එහෙම වෙන්නේ නම් නැහැ. ආහාර ගත්තට පස්සෙ දත් වල රැඳෙන් මැලියම් ඉවත් කරන්න සිනිඳු කෙඳි සහිත (soft) දත් බුරුසුවක් භාවිත කිරීම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මුළු ඇඟේම බර යොදලා දත් මදින්න අවශ්‍ය නැහැ. අනවශ්‍ය බලයක් යොදලා දත් මැද්දම එනමලය විනාශ වෙන නිසා දන්තිනය නිරාවරණය වීමෙන් දන්ත සංවේදීතාවය ඇති වෙන්න පුළුවන්.




  • අයහපත් මුඛ සෞඛ්‍ය නිසා දත් වල මැලියම් බැඳීම.
දත් වල මැලියම් බැඳිලා ඒවා දීර්ඝ කාලයක් තිස්සේ ඉවත් කරන්නේ නැතුව තියනකොට ඒ මැලියම් ඝන වෙලා දත් වලට තදින් බැඳෙනවා. එතකොට දත් බුරුසුවකින් ඒ මැලියම් ඉවත් කරන්න අමාරුයි. මේ ඝන වෙච්ච මැලියම් හෙවත් calculi තමයි විදුරුමස් රෝග වලට මූලික හේතුව වෙන්නේ. මේ තත්වය ඇති වුණාම අපි දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිහින් දත් පිරිසිදු කරගන්න එක වැදගත් වෙනවා. එහෙම නැත්තම් විදුරුමස් රෝග ඇති වෙලා විදුරුමස් දිය වුණාම දත් මුල් නිරාවරණය වෙනවා. දත මුල ආවරණය වෙලා තියෙන cementum කියන පටකය හරිම තුනී පටකයක්. එම නිසා එය ඉතාම පහසුවෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා විදුරුමස් ආරක්ෂා කර ගැනීමත් වැදගත් වෙනවා. 

  • දත් නිතර එකිනෙක ගැටීම වැනි හේතු නිසා එනමලය විනාශ වීම. 
මෙයට නම් ප්‍රධාන හේතුවක් දත් මිටි කෑම. තරහ ගියාම කෙරෙන දත් මිටි කෑම විතරක් නෙවෙයි. නින්දේදී අපි නොදැනුවත්වම දත් මිටි කෑම සිදු කෙරෙනවා. මේ වගේ තත්වයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැමීම වැදගත්. එවනි අයගේ දත් පහත ආකාරයට තමයි දිස් වෙන්නේ.


ඒ වගේම මෙහි දක්වා තියෙන අනෙකුත් හේතු නිසාත් වෙන්නේ එනමලය විනාශ වීම නිසා දන්තිනය නිරාවරණය වීමෙන් සංවේදීතාවය හට ගැනීමයි. 
නිතරම බොහෝ ආම්ලික ආහාර පාන ගැනීම නිසා දන්තිනය නිරාවරණය වෙන්න පුළුවන්. මෙතනදී අධික ආම්ලික ආහාර පාන වලට උදාහරණ වශයෙන් පලතුරු යුෂ (දෙහි යුෂ, දොඩම් යුෂ, ඇපල් යුෂ)  කාබනීකෘත බීම වර්ග (උදා: කෝලා වර්ගයට අයත් පාන) වයින්, බියර් ආදිය හඳුන්වන්න පුළුවන්. 

ප්‍රතිකාර 

මේ සඳහා කළ හැකි ප්‍රතිකාර නම් රාශියක් තියෙනවා. ඒත් ඉතාම වැදගත් වන්නේ මේ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන්න කලින් වෛද්‍ය උපදෙස් පැතීමයි. ඔබේ දන්ත සංවේදීතාවයට බලපාන හේතුව ගැන දන්නේ නැතුව පහත දක්වා ඇති ප්‍රතිකාර ක්‍රම මොන තරම් අත්හදා බැලුවත් වැඩක් වෙන්නේ නෑ.  


දත් පිරිසිදු කර ගැනීම මේ සඳහා ඇති එක් ප්‍රතිකාර ක්‍රමයක්. ඔබේ දන්ත වෛද්‍යවරයා හමු වීමෙන් ඔබට එය සිදු කරගන්න පුළුවන්. ඉන් පසුව වෛද්‍ය උපදෙස් මත ෆ්ලෝරයිඩ් අඩංගු මුඛ සේදුම් දියරයක් (mouthwash) භාවිතා කරන්න පුළුවන්.

ඒ වගේම සංවේදී දත් සඳහා සකස් කර ඇති විශේෂ දන්තාලේප වර්ග භාවිතා කිරීමෙනුත් යහපත් ප්‍රතිඵල අත් කර ගත හැකියි.

මෙම ක්‍රමවේද මගින් සංවේදීතාවය සුව වුණේ නැත්තම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මක් නිසාද යත් ඔබේ දන්ත සංවේදීතාවය වෙනත් කිසියම් රෝගී තත්වයක් (උදා: ආමාශගත රෝග)  නිසා ඇති විය හැකි නිසා.

යහපත් මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම මගින් මේ ගොඩක් තත්ව වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. අනෙකුත් ප්‍රතිකාර ක්‍රම වලට වඩා දන්ත රෝග ඇතිවීම වළක්වා ගැනීමයි ඉතාම වැදගත් වෙන්නෙ..