Sunday, April 24, 2016

කිරි දත් III

විශේෂ ස්තූතිය, ඊයේ මුණගැසී දැන් කාලෙකින් "දත් වෙද සුමිතුරු" ලිව්වේ නැත්දැයි අසා මූණුපොතට හිරවී සිටි මට මේ බ්ලොග් එක යළි මතක් කර දුන් "අහසෙන් එන්න" බ්ලොග් අඩවියේ කසුන් අයියාට... 




කලින් ලිපි කියෙව්වෙ නැත්තම් ගිහින් ඒවත් කියවලාම එන්නකෝ.. 



අද කියනවා කිව්වෙ කිරිදත් කොහොමද පැණිරස වලින් පරිස්සම් කරගන්නෙ කියලා. කිරිදත් තියෙන පොඩි බබාල විතරක් නෙවෙයි, අපි හැමෝම පැණිරස කන්න කැමතියි. ඒ නිසා දත් ටික පරිස්සම් කරගන්න පැණිරස නොකා ඉන්න කියනවනම් ඒක කොහෙත්ම වෙන්නෙ නැති වැඩක්. ඒ නිසා පැණිරස කන ගමන්ම දත් ටික පරිස්සම් කරගන්න පුළුවන් විදියක් බලමු.. 

පැණිරස ජාති ගොඩක් තියෙනවා. ටොෆි, චොකලට්, ලොලිපොප්, බූන්දි, බොම්බයි මොටයි, බුල්ටෝ, මාෂ්මෙලෝ ඔය එකී මෙකී නොකී ජාති ඔක්කොම පැණිරස. ඒ වගේම බිස්කට්, පැණිබීම, අයිස් පැකට්, අයිස් ක්‍රීම්, ජෙලි වගේ දේවලුත් මේ ගණයට අයිති වෙනවා. 

කලින් ලිපියකත් මං කිව්වා දත් නරක් වෙන්නෙ කොහොමද කියලා. අපේ කටේ හැම වෙලාවෙම බැක්ටීරියා කිසියම් සංඛ්‍යාවක් වාසය කරනවා. ඉතින් පැණිරස කෑවම මේ බැක්ටීරියා, පැණිරස කෑම මත ප්‍රතික්‍රියාවක් සිදු කරලා අම්ල නිපදවනවා. මෙහිදී සිදු වෙන්නෙත් පැසීම (Fermentation) කියන ක්‍රියාවලියමයි. ඔබත් මමත් හොඳින් දන්න රා නිෂ්පාදනය සිදු කරන්නෙත් පැසීම මගින්. දතේ එනමලය දිරාපත් කරන්න මේ අම්ල වලට පුළුවන්. ඉතින් එහෙම තමයි දත් දිරාපත් වෙන්නෙ. 

කලින් සඳහන් කරපු පැණිරස කෑම වලින් වඩාත්ම අහිතකර වෙන්නෙ මොන වගේ පැණිරස කෑම වර්ගද කියලා හිතන්න පුළුවන්ද? ඇලෙන සුලු පැණිරස කෑම වර්ග තමයි වඩාත්ම අහිතකර. ඇලෙන සුළු පැණිරස කෑම කියන්නෙ කාල ඉවර වුණාට පස්සෙ දත් වල ඇලිල වගේ තියෙන පැණිරස කෑම වලට. එහෙම තියෙන්නෙ මොනවද කියලා මතක් කරගන්න පුළුවන්ද? සමහර ටොෆි වර්ග, චොකලට්, බුල්ටෝ වගේම ගොඩක් බිස්කට් වර්ගත් මෙහෙම දත් වල ඇලිලා තියෙනවා. ඉතින් මේ වගේ පැණිරස කෑම කන එක අඩු කරන්න ඕනෙ. 

ඉතින් ඒකෙන් කියවෙන්නෙ නැහැ අනිත් පැණිරස කෑම කන එක හොඳයි කියලා. ඒත් ඒවට වඩා දත් දිරායාමට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඔය ඇලෙන සුළු පැණිරස කෑම වලට. 

ඒ වගේම පැණිරස ආහාරයට ගන්නකොට පුළුවන් තරම් ප්‍රධාන ආහාර වේල් එක්කම ගන්න. නිතර නිතර පැණිරස කන එක දත් දිරායාමට ප්‍රධාන හේතුවක්. 

පැණි බීම ගැනත් යමක් කියන්නම්කෝ. පැණිබීම වල සීනි wවිශාල අශයෙන් aඅඩංගු වෙනවා පමණක් නෙවෙයි, ඒවා ඉතාම ආම්ලිකයි. ඒ අම්ල මගින් දත් වල එනමලය මෘදු කිරීම සිදු කරනවා. ඒ ඉසා ඉතා පහසුවෙන් දත් දිරායන්න පුළුවන්. 

ඊළඟ පාර පැණිරස කෑමක් ගනිද්දි මේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.. 

Thursday, March 31, 2016

කිරි දත් II

පළවෙනි කොටස කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් කියවලා එන්න.. 

පළවෙනි ලිපියෙන් අපි කතා කළේ කිරි දත් වල වැදගත්කම සහ කිරිදත් දිරායාමට හේතු පිළිබඳව. ඉතින් අද කියන්න බලාපොරොත්තු වෙන්නෙ කිරිදත් දිරායාම කොහොමද වළක්ව ගන්නෙ කියලා. 

මුල්ම කිරිදත එන්නෙ වයස මාස 6ක් පමණ කාලෙදි. ගොඩක් වෙලාවට බබාට මේ වෙද්දි මව්කිරි වලට අමතරව ඝන ආහාර දෙන්න පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ නිසා එක දතක් ආවට පස්සෙ ඉඳන්ම දත් පිරිසිදු කිරීම කරන්න පටන් ගන්න ඕනෙ.

පුංචිම බබාලාගෙ නම් පිරිසිදු රෙදි කෑල්ලක් එහෙම නැත්තම් ගෝස් කෑල්ලකින් දත් ටික පිස දමලා පිරිසිදු කරන්න පුළුවන්. දත් දෙකකට වඩා වැඩියෙන් තියෙනවනම් කුඩා දරුවන් සදහා'ම නිෂ්පාදනය කරපු දත් බුරුසුවක් යොදාගන්න පුළුවන්. දන්තාලේපය සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒ දන්තාලේප ප්‍රමාණය පහත රූපයේ දක්වා ඇති පරිදි විය යුතුයි. 



අවුරුදු දෙකට වඩා අඩු දරුවන් සඳහා පළවන රූපයේ පරිදි තුනී ස්තරයක් (smear layer) පාවිච්චි කළ යුතුයි. 

අවුරුදු දෙකට වඩා වැඩි දරුවන් සඳහා දෙවන රූපයේ පරිදි මුං ඇටයක ප්‍රමාණයක් පාවිච්චි කළ යුතුයි. 

පොඩි අය හරිම කැමතියි දත් බෙහෙත් ගිලින්න. ඒත් පොඩි කාලෙදි මෙහෙම අධික ලෙස ෆ්ලෝරයිඩ් ශරීරගත වුණාම ෆ්ලෝරෝසිස් වගේ රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම දන්තාලේප ගිලින් එක අපි වළක්වගන්න ඕනෙ. 

දරුවාට අවුරුදු 10ක් පමණ වෙනකල් දත් මැදීමට දෙමව්පියන්ගේ සහය ලැබෙනවා නම් ඉතාම හොඳයි. මොකද කුඩා දරුවන්ට තමන්ගේ දත් නිසි පරිදි පිරිසිදු කරගන්න එක ටිකක් අමාරු කටයුත්තක්. 

ඒ වගේම දන්ත විකලාංග ඉවැරදි කිරීම සඳහා කම්බි වගේ දේවල් දාල තියෙනවා නම් මැලියම් බැඳීම ඉහළ මට්ටමක තියෙන්නෙ. ඒ නිසා හොඳින් දත් මැදීම ඉතාම වැදගත්. 

දවසට දෙවරක්, උදේ සහ රාත්‍රීයේදී ප්‍රධාන ආහාර වේල් වලට පස්සෙ දත් මැදීම ප්‍රමාණවත්. 

කිරි දත් පරිස්සම් කරගන්න පැණි රස කෑම අඩු කරන්නෙ කොහොමද කියලා අපි ඊලඟ ලිපියෙන් බලමු.. 


Monday, March 21, 2016

කිරි දත් 1

"ශලිනි, අනේ බබාගේ දත් ටික ඔක්කොම නරක් වෙලා නේද?' නිමන්ති එහෙම ඇහුවේ තම මිතුරියගේ අවුරුදු 5ක් වයස බබාගෙ දත් ටික ඔක්කොම කළු පාට වෙලා නරක් වෙලා තියෙනවා දැකලා.. 

"ඔව් නිමන්ති. කොහෙද මෙයාලා හැම වෙලාවෙම පැණිරස කන එකමයි නේ වැඩේ. බේරන්න බැහැ. ඒත් කමක් නෑ. ඕවා කිරිදත් නේ. වැටිලා ස්ථිර දත් එන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් නැහැ.."

ඇත්තටම කිරිදත් නරක් වෙන එක ප්‍රශ්නයක් නැද්ද? ඒවා කොහොමත් වැටිලා ස්ථිර දත් එන නිසා කිරි දත් පරිස්සම් කරන්න ඕනෙ නැද්ද? මේ අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපි අද කිරි දත් ගැන කතා කරමු.. 

අපි හැමෝම පොඩි කාලෙ ඉගෙන ගෙන තියෙන විදියට කටේ කිරිදත් 20ක් තියෙනවා. මේවා හැදෙන්න පටන් ගන්නෙ බබා අම්මගෙ බඩේ ඉන්න කාලෙදිමයි. කිරි දත් එන්න පටන් ගන්නෙ බබාට වයස මාස 6ක් විතර කාලෙදි. වයස අවුරුදු දෙක හමාරක් වෙද්දි කිරි දත් ඔක්කොම එවිත් ඉවරයි. මේ කිරි  දත් වැටිලා ස්ථිර දත් එන්න පටන් ගන්නෙ අවුරුදු 6ක් වගේ කාලෙදි. 

කිරිදත් වල ප්‍රධානම කාර්‍යය තමයි පසු කාලීනව ස්ථිර දත් වලට එන්න ඉඩ කඩ පවත්වගෙන යන එක. ඊට අමතරව පොඩි කාලෙදි හපන්න, කතා කරන්න, පෙනුමට වගේ දේවල් වලටත් වැදගත් වෙනවා. 

ඉතින් පොඩි කාලෙදිම කිරිදත් නරක් වෙලා ගලවන්න වුණොත් එහෙම ඒක පසුකාලීන ස්ථිර දත් සැකැස්මට ලොකු බලපෑමක් ඇති කරනවා. ස්ථිර දත් වලට එන්න ඉඩ මදි වීම නිසා විවිධ දන්ත විකලාංග අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කිරිදත් නරක් වුණාම ඒ විෂබීජ, හැදෙන ස්ථිර දතට බලපෑම නිසා ස්ථිර දතේ හැඩයේ, වර්ණයේ විවිධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ රූපයේ වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. 

ඒ නිසා කිරිදත් පරිස්සම් කරගන්න එක ගොඩක් වැදගත්. ඒ නිසා කිරිදත් නරක් වෙන එක අපි වළක්වගන්න ඕනෙ. කිරිදත් නරක් වෙන්න හේතු මොනවද? 

රෑට නින්දෙන් කිරි බොන එක තමයි ප්‍රධානම හේතුව වෙන්නෙ කිරි දත් නරක් වෙන්න. නින්දට ගියාම කටට කෙළ එන එක ගොඩක් අඩුයි. ඒ නිසා කිරි උදේ වෙනකම්ම කටේ රැඳෙනවා. එතකොට ඇසිඩ් හදන බැක්ටීරියා වලට පුළුවන් කිරි වල තියෙන සීනි වලින් ඇසිඩ් හදලා දත් දිරායාම වේගවත් කරන්න. 

පොඩි අය පැණිරසට ගොඩක් කැමතියි. එයාලා හැම වෙලාවෙම පැණිරස දේවල් කන එක තමයි කරන්නෙ, ටොෆි, චොකලට් ජාති ගොඩක් ඇලෙන සුළුයි. මේවා දත් වල ඇලිලා ගොඩක් වෙලා දත් වල රැඳිලා තියෙනවා. ඒ නිසත් දත් දිරායාම වේගවත් වෙනවා. 

පොඩි බබාලා නිතරම කන්න කැමති දේවල් වලින් බිස්කට් කියන්නෙ ගොඩක් සීනී අඩංගු වෙන ආහාරයක්. චොකලට් බිස්කට් වල විතරක් නෙවෙයි, මාරි වලත් ගොඩක් සීනි තියෙනවා. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව නිතර නිතර පැණි රස දේවල් ආහාරයට ගැනීම නිසා දත් දිරායාම වේගවත් කරනවා. 

ඉතින් දත් දිරායාමෙන් කොහොම්ද කිරිදත් ආරක්ෂා කරගන්නෙ කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.... 

Friday, June 26, 2015

... ගබ්සාව....




විනාඩි 20ක් විතර තිස්සේ මහන්සි වෙලා, ගල් ගෙඩියක් වගේ දතක් ගලවලා හෙම්බත් වෙලා හිටපු මම ඒ රෝගියා පිටත් වුනාට පස්සේ පුටුවට හේත්තු වුනා...

එදා දවසට මට එහෙම අහු වුන දෙවැනි දත තමයි ඒ..
කොච්චර අමාරු වුනත් එහෙම එකක් ගැලෙව්වම තියෙන සතුට ඉතින් කියල නිම කරන්න නම් බෑ..
මහන්සි වෙලා හිටපු මම පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න හදනකොටම, තව කවුද එන සද්දයක් ඇහුනා..

ඩොක්ට ඉන්නවද දන්නේ නෑ නේද ?
දොරෙන් බාගෙට වගේ එබුන මැදිවයසේ වගේ ගෑනු කෙනෙක් මගෙන් එහෙම ඇහුවා..

ක්ලිනික් එකට එන ගොඩක් අය මගෙන් ඩොක්ට ඉන්නවද කියල අහන එක දැන් මට පුරුදු දෙයක්.. 

ඔව්..මම තමයි ඩොක්ට .. මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ ??
ආපු හිනාව තද කරගෙන මම එහෙම ඇහුවා..

ඩොක්ට මෙතන දත් සම්බන්ධ දේවල් විතරද කරන්නේ ??

ඔව් ඉතින්.. ඔය බෝඩ් එකේ තියෙන්නේ.. මම කිව්වේ බෝඩ් එක දිහාට අත දික් කරලා..

නෑ අපේ අක්ක කෙනෙක් කිව්වා.....
ඊට පස්සේ පොඩි නිහැඬියාවක්..

මොකද්ද කිව්වේ ??

නෑ මේ .... මේ....
එපාර එයා මගේ ඇස් දිහා කෙලින්ම බලනවා ..

මට වැඩේ තේරුණා... මීට කලිනුත් මේ වගේ කෙනෙක් පාර වරද්දාගෙන මෙතනට ඇවිත් තිබූන නිසා..

ඔයා අහන්න හදන්නේ බබාලා සම්බන්ධ දෙයක්ද ??

ඔව් ඔව් ඩොක්ට..
මෙතැන එහෙම ඒවා කරනවද ??

අපෝ නෑ.. අපි නම් ඕව කරන්නේ නෑ..
කාටද ඔයාටද ?
(මේ මනුස්සයට නම් වෙන්න බෑ.. දූටවත් වෙන්න ඇති කියල මට හිතුනා ..)

ඔව් ඩොක්ට ..

අපොයි ..
ඇයි ඉතින් නැති කරගන්න හදන්නේ ?
ඇස් දෙකේ කඳුළු පුරවගත්ත ඒ මනුස්සය මගෙන් අහන්නේ නැතුවම එතැන තිබුන පුටුවේ වාඩි වුනා..

මගේ මහත්තය කටාර් ඉන්නේ ..
ළඟදී ඇවිත් ඉඳලා දැන් පිටත් වෙලා සති 3ක් විතර වෙන්නේ ..
මේක එයාට කිව්වට එයා එයාගේ කියල විශ්වාස කරන එකක් නෑ සර්..

දැන් ඔයා ඕක දැනගෙන කොච්චර කල්ද ?
ඇයි ඉතින් ඔයාට ඕක මහත්තයට තේරුම කරලා දෙන්න බැරි ?
ඇස් දෙකේ කඳුළු පුරවගත්තත්, මේ මනුස්සය මේ කියන්නේ නම් අලි කෙප්පයක් කියල මගේ හිත මට කියනවා..

එයාට කියල වැඩක් නෑ සර්.. විශ්වාස කරන එකක් නෑ ..
මගේ ලොකු දුව මේ අවුරුද්දේ උසස් පෙළ කරනවා ..
පොඩි දුව මොන්ටිසෝරි..
ලොකු දුවට මගේ ගැන මොනවා හිතෙයිද සර්..

ඉතින් දැන් ඔයාට වයස කීයද ?
(මේක නම් හොර සීන් එකක් වෙන්නම ඕන .. මට හිත ආයෙමත් කියනවා )

මට 41ක් වෙනවා සර්..

අපොයි.. 41 කියන්නේ ළමයි හදන වයසක්ද ...
මට නිකන්ම කියවුනා..
ටික වෙලාවක් සද්ද නැතුව හිටිය ඒ මනුස්ස ආයි කියවන්න ගත්තා..

මට හොඳටම සීනිත් තියෙනවා ..
තුන්සිය ගානයි ගිය සතියේ බලද්දී ..

මෙහෙමයි ..
ඔයා දන්නවා නේද දරුවෙක් නැති කරනවා කියන එක පවක් කියලා ..
ඒවා මේ රටේ නීත්‍යානුකූල නැහැ කියලත් දන්නවා නේද ??

දන්නවා ඩොක්ට ..
මට වෙන කරන්න දෙයක් නැහැ ..

දැන් ඒ මනුස්සයාගේ කඳුළු ශීඝ්‍රතාවේ වැඩි වෙනවා වගේ දැනෙනවා ..
කොහෙවත් යන මරාලයක් මගේ ඔලුවට කඩන් පාත් වෙන්න යන බව තේරුනත් ඒ මනුස්සයව එලවගන්නවට වඩා මට කරන්න දෙයක් තියෙනවා කියල මට හිතුනා..

අනේ ඩොක්ට දන්නවා නම් මට ඒ තැන කියන්න ..
ලොකුම පිනක් .. මම හොඳටම අසරණ වෙලා ඉන්නේ ඩොක්ට ..

අපොයි .. මම එහෙම තැනක් දන්නේ නැහැ ..
දැනගත්තත් ඔයාට කියන්නෙත් නැහැ ..
ඔයා ඔය විස්තර ගිහින් හොස්පිටල් එකට කියන්න ..
මට ඕවට කරන්න කිසිම දෙයක් නැහැ ..

මම VOG සර්ව හම්බෙන්න යන්න තමයි හිටියේ සර්..
ඒත් මෙහෙම තැනක් තියෙනවා කියල දැනගත්ත නිසා මම මෙතනට ආවේ ..

අනේ මේ අපි නම් ඕව කරන්නේ නැහැ..
ඔයා ගිහින් ඕක කියන්න හොස්පිටල් එකේ...
සමහරවිට ඔයාගේ වසයසයි ඔය සීනි තත්ත්වෙයි සලකල බලල එයාල හොඳ දෙයක් කරාවි..

හොස්පිටල් එකෙන් එයාට සහනයක් නොලැබෙන බව ෂුවර් වුනත් , එතනින් මට වඩා හොඳට මේ ප්‍රශ්නේ මැනේජ් කරයි කියල හිතුන නිසා මම එහෙම කිව්වා ..

එයාල එහෙම කරයිද ඩොක්ට ?
මම එහෙනම් හොස්පිටල් යන්නද ?
ඒ මනුස්සයාගේ ඇස්වල බලාපොරොත්තු පිරිලා..

හ්ම්ම් එහෙනම් එහෙම කරන්න ..
වෙන තැන්වලට නම් යන්න එපා.. ඒවගේ තැන්වල සුදුසුකම් තියෙන වෛද්‍යවරු නැහැ ..
මොනවා හරි වුනොත් ඔයාගේ ජීවිතේටත් හානි වෙන්න පුළුවන් .. හරිද ??

හරි සර් ... ගොඩක් පින් සර් ..

හ්ම්ම්..දැන් ඔයා යන්න..

ඒ මනුස්සය ගියාට පස්සේ මම මගේ වෛද්‍ය යාලුවෙක්ට ඇමතුමක් ගත්තා...
ඒ , හොස්පිටල් එකෙන් මේ වගේ තත්ත්වයක් කොහොමද මැනේජ් කරන්නේ කියල අහන්න...

ඉතින් ඒ යාලුවගෙන් විස්තරේ අහගත්ත මම, අනාගතේ උපදින ඒ දරුවාගේ ජීවිතේ මොන වගේ වෙයිද කියල කල්පනා කරන්න පටන් ගත්තා...



ලිව්වෙ රවින් යසිත..

Sunday, May 31, 2015

ඥාණ දත්.... (Wisdom Teeth) -II

මෙම ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
ශල්‍යකර්මයෙන් පසු කළ යුතු දේවල් සහ ඇති විය හැකි සංකූලතා පිළිබඳවයි. 

සාමන්‍යයෙන් මෙම ශල්‍යකර්මයෙන් සුවය ලබන්න දින 5-5-7 දක්වා කාලයක් ගත වෙනවා. විදුරුමස් වල ඇති තුවාලය සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න සති 3-4 දක්වා කාලයක් ගත වෙනවා. 

සංකූලතා ඇති වීම වළක්වා ගෙන තුවාලය හොඳින් සුව කර ගැනීමට පහත උපදෙස් ඉතා වැදගත් වෙනවා. 

  • ශල්‍යකර්මයෙන් පසුව පළමුපැය 24 ඇතුළත ලේ ගැලීම සාමන්‍ය දෙයක්. මෙය නතර කිරීමට පිරිසිදු ගෝස් කැබැල්ලක් තබා විනාඩි 45ක් පමණ හපාගෙන සිටිය යුතුයි. එමගින් ලේ ගැලීම නතර වෙනවා. 
  • නිතර කෙළ ගැසීමෙන් වැළකී සිටීම වැදගත්. තුවාලය සුව වීමට එතැන ලේ කැටියක් සෑදීම අවශ්‍ය වෙනවා. නිතර කෙළ ගැසීමෙන් ඒ ලේ කැටිය ගැලවී ඉවතට ය හැකියි. එමගින් තුවාලය සුව වීමට බාධා ඇති වෙනවා. 
  • නතර නොවන ලේ ගැලීමක් සිදුවේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
  • දත ගැලවූ පැත්තේ කම්මුල ඉදිමීම සිදුවිය හැකියි. ඉදිමීම අඩු කිරීමට අයිස් රෙදි කැබැල්ලක ඔතා එම ස්ථානයේ තබන්න. විනාඩි 10ක් අයිස් තැබීමෙන් පසුව විනාඩි 20ක් එය ඉවත් කර තබන්න. පළමු පැය 24 තුල මෙය නැවත නැවත කිරීමෙන් ඉදිමුම යම් තරමකට අඩු කර ගත හැකියි. 
  • හිරි වැට්ටීමෙන් පසුව පැය තුනක් පමණ කාලයක් එම හිරි ගතිය හිබෙනවා. එම කාලය ඇතුලත දිව හා කම්මුලේ ඇතුල් පැත්ත ඔබට නොදැනීම හැපීම නිසා තුවාල සිදුවෙන්න පුළුවන්, එය වළක්වා ගත යුතුයි, ඒ වගේම උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළෛය යුතුයි. එහි නියම උණුසුම හිරි ගතිය නිසා නොදැනීමෙන් තුවාල සිදු වෙන්න පුළුවන්. 
  • වෙහෙස වී කරන කටයුතු වලින් මඳකට ඈත්ව විවෙකීව සිටීමෙන් ලේ ගැලීම අඩු කර ගත හැකියි. 
  • පළමු පැය 24 තුළ කට සේදීමෙන් වැළකී සිටින්න. එයින් ලේ කැටිය ගැලවී යා හැකියි. පසු දිනයේ මඳ රස්නය ඇති ලුණු වතුරෙන් කට සේදීම සිදු කරන්න. එයින් ඉදිමුම සහ වේදනාව අඩු වේ. 
  • හොඳින් ජලය පානය කරන්න. එහෙත් ඇල්කොහොල් අඩංගු පාන වර්ග, කැෆේන් අඩංගු පාන වර්ග, කෝලා පාන වර්ග සහ උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළකී සිටින්න. බට වලින් බීම් වර්ග පානය කිරීමෙන් වැළකී සිටින්න. 
  • පළමු පැය 24 තුළ මෘදු ආහාර (යෝගට්, ජෙලි වැනි) ලබාගන්න. ඝන ආහාර සහ අධික මිරිස් යෙදූ ආහාර ගැනීමෙන් වැළකී සිටින්න. 
  • පළමු පැය 24 තුළ දත් මැදීමෙන් හෝ මුඛ සේදුම් දියර භාවිතයෙන් වැළකී සිටින්න. පසු දින සාමාන්‍ය පරිදි දත් මදින්න. එහෙත් තුවාලය අසල තදින් මැදීමෙන් වළකින්න. සෑම ආහාර වේලකටම පසුව මද උණුසුම් ලුණු වතුරෙන් කට සෝදන්න. 
  • ඔබ දුම් පානය කරන කෙනෙක් නම් ශල්‍යකර්මයෙන් දින 3ක් ගතවන තෙක් දුම්පානයෙන් වළකින්න. දුම්කොළ සැපීම සිදු කරනවා නම් සතියක් යනතෙක් එයින් වැළකී සිටින්න. 
  • වෛද්‍යවරයා විසින් ලබාදෙන වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ උපදෙස් පරිදි භාවිතා කරන්න.

මෙම ශල්‍යකර්මයෙන් සංකූලතා කිහිපයක් ඇතිවිය හැකියි. නිසි පරිදි තුවාලය සුව නොවීම ඉන් එකක්. සතියක් පමණ ගත වුණත් නිසි පරිදි තුවාලය සුව නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම වැදගත්. 

ඒ වගේම මෙම දත ආසන්නයෙන් මුහුණේ පහළ කොටසේ සංවේදනය සඳහා වැදගත් වන ස්නායුවක් ගමන් කරනවා. එම නිසා ශල්‍යකර්මයට පෙර එම ස්නායුව පිහිටා ඇති ආකාරය නිවැරදිව සොයාගැනීම වැදගත්. ඒ වගේම ශල්‍යකර්මය අතරතුර මෙම ස්නායුවට හානි සිදුවෙන්න පුළුවන්. මෙම හානිය බොහෝවිට තාවකාලිකයි. එම නිසා ශල්‍යකර්මයට පෙර ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසා දැනගැනීමත් වැදගත්. 

Sunday, May 24, 2015

ඥාණ දත්.... (Wisdom Teeth) -I

ඥාණ දත් කියන්නෙ මොනවද? ඥාණ දත් කියන්නේ හනු වල කෙළවරේම එන දත් වලට. සාමාන්‍යයෙන් මේ දත් හතරක් තියෙනවා. උඩ හනුවේ හා යට හනුවේ 2 බැගින්. මේ දත් එන්නේ වයස 18-24 අතර කාලයේ. ඉතින් මේ දත පසු කාලීනව එන නිසා විව්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. 

  • මේ දත් අස්ථිය හෝ විදුරුමස් තුළ ගිලී පවතින්න පුළුවන්. අවුරුදු 24 ට පස්සෙ තාමත් මේ දත් ඇවිත් නැත්තම් ගොඩක් වෙලාවට මේ හේතුව නිසා වෙන්න පුළුවන්. 
  • දත් පැත්තකට ඇද වෙලා එන්න පුළුවන්. මේ නිසා ඒ දත අනෙක් දත් වලට තද වීමෙන් ඒ අනෙක් දත් වලට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. 
  • ඒ දත් හනුවේ කෙළවර පිහිටා තිබීම නිසා පිරිසිදු කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දත් පහසුවෙන් නරක් වීමට පුළුවන්. 
  • එ වගේම පිරිසිදු කිරීම අපහසු නිසා ඒ අවට විදුරුමස් නිතර ආසාදනය වෙන්න පුළුවන්. මේ නිසා දැඩි වේදනාවක් හටගන්නවා. 
විදුරුමස් ආසාදිත තත්වයට පත්වුණ දතක් තමයි මේ රූපයෙන් දැක්වෙන්නෙ. 



මේ වගේ අපහසුතා ඇතිවීම නිසා මේ දත ගලවා ඉවත් කරන්න වෙනවා. අස්ථිය තුල ගිලී ඇති නිසා මෙය සාමාන්‍ය විදියට ගලවා ඉවත් කරන්න බැහැ. ඒ සඳහා සුළු ශල්‍යකර්මයක් කළ යුතුයි. එම දත ආසන්නයේ කුඩා කැපුමක් දමා දත වටේ ඇති අස්ථිය ඉවත් කිරීමෙන් ඒ දත ගලවා ඉවත් කරන්න පුළුවන්.

එක් දතක් පමණක් මේ විදියට ඉවත් කරනවා නම් හිරි වට්ටල කරන්න පුළුවන්. ඒත් දත් 4ම මේ විදියට ගලවා ඉවත් කරනවා නම් බොහෝවිට සිහි නැති කරලා තමයි කරන්නෙ. 

මෙම ශල්‍යකර්මයට පෙර එක්ස් රේ පරීක්ෂණයක් කිරීම අනිවාර්යයි. යටි හනුවේ මෙම දතට ආසන්නයෙන් ස්නායුවක් ගමන් කරනවා. එම නිසා ඒ ස්නායුව දතට කොපමණ ළඟින් පිහිටා තිබෙනවාදැයි දැනගන්න එක්ස් රේ පරීක්ෂණය ඉතාම වැදගත්. 

ශල්‍යකර්මයට පෙර ඔබ ඔබේ වෛද්‍යවරයාට ඔබට ඇති රෝගි තත්ව, ඔබ ලබාගන්නා බෙහෙත්, ඔබට ඇති ආසාත්මිකතා (allergies) දන්වා සිටීම වැදගත් වෙනවා. 

මෙම ශල්‍යකර්මය සඳහා සාමාන්‍යයෙන් විනාඩි 30-45ක් තමයි ගත වෙන්නේ. මෙය ඉතා සුළු ශල්‍යකර්මයක් වුණාට සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. එම් සංකූලතා ගැන වගේම ශල්‍යකර්මයෙන් පසු කල යුතු දේවල් ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. 



Saturday, May 9, 2015

ස්නායු පිරවීම...

රාජ්ගෙ ඉල්ලීමකටයි මේ ලිපිය ලියවෙන්නෙ. ස්නායු පිරවීම ගැන ගොඩක් දෙනෙක්ට ගැටලු තියෙන්න් පුළුවන්. ඒත් ස්නායු පිරවීම කියන්නේ ටිකක් සංකීර්ණ විෂයක් නිසා පුළුවන් තරම් ඒ ගැන සරලව පැහැදිලි කරන්න උත්සහ කරන්නම්. 

දතේ කොටස් ගැන දැන් යම් අවබෝධයක් ඇති නේ. දතේ ඇතුලෙම කොටස තමයි කල්ක කුහරය (Dental Pulp) කියලා හැඳින්වෙන්නේ. මෙහි ස්නායු සහ රුධිර කේෂනාලිකා අඩංගුයි. මෙය සජීවී පටකයක්. මෙය බැක්ටීරියා හෝ වෙනත් හේතු මගින් ආසාදනය වුණාම තමයි ස්නායු පිරවීමක් අවශ්‍ය වන්නේ. 

ස්නායු පිරවීමක් කළ යුත්තේ ඇයි? 

කල්ක කුහරය ආසාදනය වුණාම එය රුධිර නාල ඔස්සේ දත ආශ්‍රිත පටක වලාට පැතිරෙන්න පුළුවන්. දත අසල ගෙඩියක්(abscess) ඇතිවීම වගේම ඉදිමීම සිදු වෙන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය දීර්ඝ කාලයක් ඔස්සේ සිදුවීම නිසා වෙනත් රෝගී තත්වයන්ද ඇති වෙන්න පුළුවන්. යටි ඇන්දේ දතක් නම් විෂබීජ පැතිරිලා ආශ්‍රිත පටක ඉදිමීම නිසා ශ්වසන පද්ධතිය අවහිර වීමෙන් මරණය පවා සිදුවීමේ හැකියාවක් තියෙනවා. 

මෙම ප්‍රතිකාරය සාමාන්‍යයෙන් සිදු කරන්නේ හිරි වට්ටලා. ඒ නිසා වේදනාවක් දැනෙන්නේ නෑ. ආසාදිත පටක කොටස් ඉවත් කරලා වෙනත් මාධ්‍යයකින් කල්ක කුහරය පිරවීම තමයි සිදු කරන්නේ. මේක ගොඩක් සියුම් ඒ වගේම කාලය ගතවෙන ක්‍රියාවලියක්. 

රෝග ලක්ෂණ 

ස්නායු පිරවීමක් කරන්නේ සාමාන්‍ය පිරවුමක් කළ නොහැකි දත් වලට. ඒ කියන්නේ කල්ක කුහරය ආසාදනය වුණාම ස්නායු පිරවීමක් කරන්න වෙනවා. මේ දතේ ගොඩක් වෙලාවට කිසිම වේදනාවක් නැහැ. ඒත් දතේ අවපැහැ ගැනීමක් තියෙන්න පුළුවන්. කාලයකට පෙර වේදනා ගෙන දුන්න දතක් දැන් කිසිම වේදනාවක් නැතුව අවපැහැ ගැන්විලා තියෙනවානම් ඒ දත සඳහා බොහෝවිට ස්නායු පිරවීම් කරන්න වෙනවා. 

ඒ වගේම ස්නායු පිරවීමෙන් පසුව දතේ ශක්තිමත් බව අඩුවෙන නිසා බොහෝවිට දත මතුපිටින් කරන crown restoration කළ යුතු වෙනවා. 

දත් කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. දතක් ගැලෙව්වට පස්සේ ඒ දත අපිට ආයෙ ලබාගන්න බැහැ. ඒ නිසා දත ගලවන්න කලින් ස්නායු පිරවීමක් කරලා ඒ දත ගලවන්නෙ නැතුව බේරගන්න පුළුවන්ද කියලා බලන එක ගොඩක් වැදගත්.