Monday, March 21, 2016

කිරි දත් 1

"ශලිනි, අනේ බබාගේ දත් ටික ඔක්කොම නරක් වෙලා නේද?' නිමන්ති එහෙම ඇහුවේ තම මිතුරියගේ අවුරුදු 5ක් වයස බබාගෙ දත් ටික ඔක්කොම කළු පාට වෙලා නරක් වෙලා තියෙනවා දැකලා.. 

"ඔව් නිමන්ති. කොහෙද මෙයාලා හැම වෙලාවෙම පැණිරස කන එකමයි නේ වැඩේ. බේරන්න බැහැ. ඒත් කමක් නෑ. ඕවා කිරිදත් නේ. වැටිලා ස්ථිර දත් එන නිසා ඕක එච්චර ප්‍රශ්නයක් නැහැ.."

ඇත්තටම කිරිදත් නරක් වෙන එක ප්‍රශ්නයක් නැද්ද? ඒවා කොහොමත් වැටිලා ස්ථිර දත් එන නිසා කිරි දත් පරිස්සම් කරන්න ඕනෙ නැද්ද? මේ අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපි අද කිරි දත් ගැන කතා කරමු.. 

අපි හැමෝම පොඩි කාලෙ ඉගෙන ගෙන තියෙන විදියට කටේ කිරිදත් 20ක් තියෙනවා. මේවා හැදෙන්න පටන් ගන්නෙ බබා අම්මගෙ බඩේ ඉන්න කාලෙදිමයි. කිරි දත් එන්න පටන් ගන්නෙ බබාට වයස මාස 6ක් විතර කාලෙදි. වයස අවුරුදු දෙක හමාරක් වෙද්දි කිරි දත් ඔක්කොම එවිත් ඉවරයි. මේ කිරි  දත් වැටිලා ස්ථිර දත් එන්න පටන් ගන්නෙ අවුරුදු 6ක් වගේ කාලෙදි. 

කිරිදත් වල ප්‍රධානම කාර්‍යය තමයි පසු කාලීනව ස්ථිර දත් වලට එන්න ඉඩ කඩ පවත්වගෙන යන එක. ඊට අමතරව පොඩි කාලෙදි හපන්න, කතා කරන්න, පෙනුමට වගේ දේවල් වලටත් වැදගත් වෙනවා. 

ඉතින් පොඩි කාලෙදිම කිරිදත් නරක් වෙලා ගලවන්න වුණොත් එහෙම ඒක පසුකාලීන ස්ථිර දත් සැකැස්මට ලොකු බලපෑමක් ඇති කරනවා. ස්ථිර දත් වලට එන්න ඉඩ මදි වීම නිසා විවිධ දන්ත විකලාංග අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කිරිදත් නරක් වුණාම ඒ විෂබීජ, හැදෙන ස්ථිර දතට බලපෑම නිසා ස්ථිර දතේ හැඩයේ, වර්ණයේ විවිධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ රූපයේ වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. 

ඒ නිසා කිරිදත් පරිස්සම් කරගන්න එක ගොඩක් වැදගත්. ඒ නිසා කිරිදත් නරක් වෙන එක අපි වළක්වගන්න ඕනෙ. කිරිදත් නරක් වෙන්න හේතු මොනවද? 

රෑට නින්දෙන් කිරි බොන එක තමයි ප්‍රධානම හේතුව වෙන්නෙ කිරි දත් නරක් වෙන්න. නින්දට ගියාම කටට කෙළ එන එක ගොඩක් අඩුයි. ඒ නිසා කිරි උදේ වෙනකම්ම කටේ රැඳෙනවා. එතකොට ඇසිඩ් හදන බැක්ටීරියා වලට පුළුවන් කිරි වල තියෙන සීනි වලින් ඇසිඩ් හදලා දත් දිරායාම වේගවත් කරන්න. 

පොඩි අය පැණිරසට ගොඩක් කැමතියි. එයාලා හැම වෙලාවෙම පැණිරස දේවල් කන එක තමයි කරන්නෙ, ටොෆි, චොකලට් ජාති ගොඩක් ඇලෙන සුළුයි. මේවා දත් වල ඇලිලා ගොඩක් වෙලා දත් වල රැඳිලා තියෙනවා. ඒ නිසත් දත් දිරායාම වේගවත් වෙනවා. 

පොඩි බබාලා නිතරම කන්න කැමති දේවල් වලින් බිස්කට් කියන්නෙ ගොඩක් සීනී අඩංගු වෙන ආහාරයක්. චොකලට් බිස්කට් වල විතරක් නෙවෙයි, මාරි වලත් ගොඩක් සීනි තියෙනවා. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව නිතර නිතර පැණි රස දේවල් ආහාරයට ගැනීම නිසා දත් දිරායාම වේගවත් කරනවා. 

ඉතින් දත් දිරායාමෙන් කොහොම්ද කිරිදත් ආරක්ෂා කරගන්නෙ කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.... 

10 comments:

  1. මට සෑහෙන වැදගත් වෙන ලිපි පෙළක් වගේ. :D

    ReplyDelete
  2. වැදගත් ලිපියක් සිතූ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිම් අක්කේ..

      Delete
  3. ඔන්න අපිත් ආවා පෙන්නපු පාර දිගේ.. බොහොම වටින විස්තර ටිකක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි.. ඔයාලට දැනගන්න ඕනෙ දේවල් තියෙනව නම් අහන්න.. :) පුළුවන් විදියට උත්තර දෙන්නම්..

      Delete
  4. හික්... මම කිරි දත් කොච්චර පරිස්සම් කරලද කියනව නං එක දතක් හැලුනෙ අවුරදු 26දි... දැන් එතන හිඩැසක් ඉතුරු වෙලා.... හි හි....

    දත් පුරස්න නං පුදුම විදියට තියෙනව... දතක් රිදි රිදිත් තියෙන්‌ෙන මේ ටිකේ... ඒත් දොස්තර ගාවට යන්න බෑ බෑ වගේ.. ගිය ගමන් බයින්නෙ දත් මැදල නෑ කියල... හි හි... ඉස්සර නං අවුරුද්දකට සැරයක් අනිවා දත් සුද්ධ කළා... දැං ඒක කෙරෙන්නෙත් නෑ.. සිතු ළඟපාතකවත් හිටය නං මං එනව දත් ටික පෙන්නල යන්න...

    ReplyDelete
    Replies
    1. දත් හොඳට මදින්නකෝ. එතකොට් ඔය ඔක්කොම ප්‍රශ්න නිවාරනයි. හැබැයි දැනට නරක් වෙලා තියෙන දත් නම් පුරවන්න හෝ ගලවන්න වෙයි..

      අඩුගානෙ අවුරුද්දකට සැරයක් වත් දත් ටික සුද්ධ කරගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් කට ගඳ ගහන්න ගත්තම ඊට වඩා ප්‍රශ්නයක්..

      ඕනෙ දෙයක් තියෙනවා නම් අහන්නකෝ...

      Delete
  5. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete