Sunday, April 24, 2016

කිරි දත් III

විශේෂ ස්තූතිය, ඊයේ මුණගැසී දැන් කාලෙකින් "දත් වෙද සුමිතුරු" ලිව්වේ නැත්දැයි අසා මූණුපොතට හිරවී සිටි මට මේ බ්ලොග් එක යළි මතක් කර දුන් "අහසෙන් එන්න" බ්ලොග් අඩවියේ කසුන් අයියාට... 




කලින් ලිපි කියෙව්වෙ නැත්තම් ගිහින් ඒවත් කියවලාම එන්නකෝ.. 



අද කියනවා කිව්වෙ කිරිදත් කොහොමද පැණිරස වලින් පරිස්සම් කරගන්නෙ කියලා. කිරිදත් තියෙන පොඩි බබාල විතරක් නෙවෙයි, අපි හැමෝම පැණිරස කන්න කැමතියි. ඒ නිසා දත් ටික පරිස්සම් කරගන්න පැණිරස නොකා ඉන්න කියනවනම් ඒක කොහෙත්ම වෙන්නෙ නැති වැඩක්. ඒ නිසා පැණිරස කන ගමන්ම දත් ටික පරිස්සම් කරගන්න පුළුවන් විදියක් බලමු.. 

පැණිරස ජාති ගොඩක් තියෙනවා. ටොෆි, චොකලට්, ලොලිපොප්, බූන්දි, බොම්බයි මොටයි, බුල්ටෝ, මාෂ්මෙලෝ ඔය එකී මෙකී නොකී ජාති ඔක්කොම පැණිරස. ඒ වගේම බිස්කට්, පැණිබීම, අයිස් පැකට්, අයිස් ක්‍රීම්, ජෙලි වගේ දේවලුත් මේ ගණයට අයිති වෙනවා. 

කලින් ලිපියකත් මං කිව්වා දත් නරක් වෙන්නෙ කොහොමද කියලා. අපේ කටේ හැම වෙලාවෙම බැක්ටීරියා කිසියම් සංඛ්‍යාවක් වාසය කරනවා. ඉතින් පැණිරස කෑවම මේ බැක්ටීරියා, පැණිරස කෑම මත ප්‍රතික්‍රියාවක් සිදු කරලා අම්ල නිපදවනවා. මෙහිදී සිදු වෙන්නෙත් පැසීම (Fermentation) කියන ක්‍රියාවලියමයි. ඔබත් මමත් හොඳින් දන්න රා නිෂ්පාදනය සිදු කරන්නෙත් පැසීම මගින්. දතේ එනමලය දිරාපත් කරන්න මේ අම්ල වලට පුළුවන්. ඉතින් එහෙම තමයි දත් දිරාපත් වෙන්නෙ. 

කලින් සඳහන් කරපු පැණිරස කෑම වලින් වඩාත්ම අහිතකර වෙන්නෙ මොන වගේ පැණිරස කෑම වර්ගද කියලා හිතන්න පුළුවන්ද? ඇලෙන සුලු පැණිරස කෑම වර්ග තමයි වඩාත්ම අහිතකර. ඇලෙන සුළු පැණිරස කෑම කියන්නෙ කාල ඉවර වුණාට පස්සෙ දත් වල ඇලිල වගේ තියෙන පැණිරස කෑම වලට. එහෙම තියෙන්නෙ මොනවද කියලා මතක් කරගන්න පුළුවන්ද? සමහර ටොෆි වර්ග, චොකලට්, බුල්ටෝ වගේම ගොඩක් බිස්කට් වර්ගත් මෙහෙම දත් වල ඇලිලා තියෙනවා. ඉතින් මේ වගේ පැණිරස කෑම කන එක අඩු කරන්න ඕනෙ. 

ඉතින් ඒකෙන් කියවෙන්නෙ නැහැ අනිත් පැණිරස කෑම කන එක හොඳයි කියලා. ඒත් ඒවට වඩා දත් දිරායාමට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඔය ඇලෙන සුළු පැණිරස කෑම වලට. 

ඒ වගේම පැණිරස ආහාරයට ගන්නකොට පුළුවන් තරම් ප්‍රධාන ආහාර වේල් එක්කම ගන්න. නිතර නිතර පැණිරස කන එක දත් දිරායාමට ප්‍රධාන හේතුවක්. 

පැණි බීම ගැනත් යමක් කියන්නම්කෝ. පැණිබීම වල සීනි wවිශාල අශයෙන් aඅඩංගු වෙනවා පමණක් නෙවෙයි, ඒවා ඉතාම ආම්ලිකයි. ඒ අම්ල මගින් දත් වල එනමලය මෘදු කිරීම සිදු කරනවා. ඒ ඉසා ඉතා පහසුවෙන් දත් දිරායන්න පුළුවන්. 

ඊළඟ පාර පැණිරස කෑමක් ගනිද්දි මේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න..