Sunday, April 24, 2016

කිරි දත් III

විශේෂ ස්තූතිය, ඊයේ මුණගැසී දැන් කාලෙකින් "දත් වෙද සුමිතුරු" ලිව්වේ නැත්දැයි අසා මූණුපොතට හිරවී සිටි මට මේ බ්ලොග් එක යළි මතක් කර දුන් "අහසෙන් එන්න" බ්ලොග් අඩවියේ කසුන් අයියාට... 




කලින් ලිපි කියෙව්වෙ නැත්තම් ගිහින් ඒවත් කියවලාම එන්නකෝ.. 



අද කියනවා කිව්වෙ කිරිදත් කොහොමද පැණිරස වලින් පරිස්සම් කරගන්නෙ කියලා. කිරිදත් තියෙන පොඩි බබාල විතරක් නෙවෙයි, අපි හැමෝම පැණිරස කන්න කැමතියි. ඒ නිසා දත් ටික පරිස්සම් කරගන්න පැණිරස නොකා ඉන්න කියනවනම් ඒක කොහෙත්ම වෙන්නෙ නැති වැඩක්. ඒ නිසා පැණිරස කන ගමන්ම දත් ටික පරිස්සම් කරගන්න පුළුවන් විදියක් බලමු.. 

පැණිරස ජාති ගොඩක් තියෙනවා. ටොෆි, චොකලට්, ලොලිපොප්, බූන්දි, බොම්බයි මොටයි, බුල්ටෝ, මාෂ්මෙලෝ ඔය එකී මෙකී නොකී ජාති ඔක්කොම පැණිරස. ඒ වගේම බිස්කට්, පැණිබීම, අයිස් පැකට්, අයිස් ක්‍රීම්, ජෙලි වගේ දේවලුත් මේ ගණයට අයිති වෙනවා. 

කලින් ලිපියකත් මං කිව්වා දත් නරක් වෙන්නෙ කොහොමද කියලා. අපේ කටේ හැම වෙලාවෙම බැක්ටීරියා කිසියම් සංඛ්‍යාවක් වාසය කරනවා. ඉතින් පැණිරස කෑවම මේ බැක්ටීරියා, පැණිරස කෑම මත ප්‍රතික්‍රියාවක් සිදු කරලා අම්ල නිපදවනවා. මෙහිදී සිදු වෙන්නෙත් පැසීම (Fermentation) කියන ක්‍රියාවලියමයි. ඔබත් මමත් හොඳින් දන්න රා නිෂ්පාදනය සිදු කරන්නෙත් පැසීම මගින්. දතේ එනමලය දිරාපත් කරන්න මේ අම්ල වලට පුළුවන්. ඉතින් එහෙම තමයි දත් දිරාපත් වෙන්නෙ. 

කලින් සඳහන් කරපු පැණිරස කෑම වලින් වඩාත්ම අහිතකර වෙන්නෙ මොන වගේ පැණිරස කෑම වර්ගද කියලා හිතන්න පුළුවන්ද? ඇලෙන සුලු පැණිරස කෑම වර්ග තමයි වඩාත්ම අහිතකර. ඇලෙන සුළු පැණිරස කෑම කියන්නෙ කාල ඉවර වුණාට පස්සෙ දත් වල ඇලිල වගේ තියෙන පැණිරස කෑම වලට. එහෙම තියෙන්නෙ මොනවද කියලා මතක් කරගන්න පුළුවන්ද? සමහර ටොෆි වර්ග, චොකලට්, බුල්ටෝ වගේම ගොඩක් බිස්කට් වර්ගත් මෙහෙම දත් වල ඇලිලා තියෙනවා. ඉතින් මේ වගේ පැණිරස කෑම කන එක අඩු කරන්න ඕනෙ. 

ඉතින් ඒකෙන් කියවෙන්නෙ නැහැ අනිත් පැණිරස කෑම කන එක හොඳයි කියලා. ඒත් ඒවට වඩා දත් දිරායාමට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඔය ඇලෙන සුළු පැණිරස කෑම වලට. 

ඒ වගේම පැණිරස ආහාරයට ගන්නකොට පුළුවන් තරම් ප්‍රධාන ආහාර වේල් එක්කම ගන්න. නිතර නිතර පැණිරස කන එක දත් දිරායාමට ප්‍රධාන හේතුවක්. 

පැණි බීම ගැනත් යමක් කියන්නම්කෝ. පැණිබීම වල සීනි wවිශාල අශයෙන් aඅඩංගු වෙනවා පමණක් නෙවෙයි, ඒවා ඉතාම ආම්ලිකයි. ඒ අම්ල මගින් දත් වල එනමලය මෘදු කිරීම සිදු කරනවා. ඒ ඉසා ඉතා පහසුවෙන් දත් දිරායන්න පුළුවන්. 

ඊළඟ පාර පැණිරස කෑමක් ගනිද්දි මේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.. 

19 comments:

  1. බලන්න ඕන අපේ අම්මගෙ මොන්ටිසොරියේ ඉන්න සමහර බබාලාගේ දත්වල හැටි:/ ඉස්සරහ දත් ඔක්කොම ඉවරයි. මේ නිසාම ගොඩක් අවුරුදුවල ලෝක ළමා දිනේ දවසට දත් දොස්තර මාම ගෙන්නවල පෙරපාසල් අම්මලටයි පොඩි ළමයින්ටයි කියාදිල නොමිලේ දත් පරික්ෂා කරලා දෙනව :)

    ReplyDelete
    Replies
    1. පොඩි බබාල පෙනුම ගැන නම් එච්චර හිතන්නෙ නැති නිසා ඉස්සරහ දත් වලට මොනවත් ප්‍රතිකාර කරන්නෙ නෑ.. ඒත් ඒවගෙන් කැක්කුම අරගෙන ඉදිමිලා ආවට පස්සෙ තමයි ප්‍රතිකාර වලට එන්නෙ. පව් ඉතින් පොඩි බබාල එහෙම වේදනා විඳි එක..

      ඒක නම් ගොඩක් හොඳ වැඩක් හංසි..

      Delete
  2. හැක්, හප්පච්චියේ කිරි දත්, මගේ ඊවා තාම හැලුනේ නැහැ. :D වටින පොස්ට් එකක් විසේසෙන් පොඩ්ඩෝ ඉන්න අයට. දිගටම මේ ගැන ලියන්න අපි නොදන්නා දේවල්.

    ReplyDelete
    Replies
    1. අයියෝ එදා කිව්ව නම් මම නොමිලෙම ගලවලා දෙනවනේ දත් ටික ඔක්කොම..

      දිගටම ලියන්නම්...

      Delete
  3. මෙව්වා ඉස්සරහට වැදගත් බොලේ මොනා උනත් මං බය නෑ දත් දොස්තර නෝනෙක් මගේ යාළුවෙක්නේ... මගේ කිරි දත් නම් පුංතී කාලේ සවුත්තු වෙලා නෑ ඒත් ඉස්සරහ ඇන්දම වැටුනා ඒ කාලේ එක පාරම වස ලැජ්ජාවයි.. ;) ආච්චි වගේ හිටියා ඒ දාස්වල

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි මේ ලිපි ටික... :)

      මැවිලා පේනවා ඈ ආච්චි වගේ හිටපු හැටි.. :P

      Delete
  4. මගෙත් කිරි දත් දෙක තුනක් තියෙයි. පැනිරස කාල කාල හොඳටෝම නරක් වෙලා. එදා කියල ගලව ගන්න බැරුව ගියානෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙ දවසක පොත් එළිදැක්වීමකදි හම්බ වුණාම කසුන් අයියගෙ දත් සෙට් එකම ගලවල දෙන්නම්කෝ..

      Delete
  5. කසුනාගේ ආරාධනාවට තුති........ බ්ලොගය ලිවීම ලොකු දෙයක්... ඒ මගින් අපිට ලැබෙන දැනුම සහ මේ සාකච්ඡාව ඉතා හොද වැදගත්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරුටු.. කම්මැලිකම අතෑරල දාල ලියන්නම්කෝ දිගටම.. :P

      Delete
  6. අපිත් එක්ක දැනුම බෙදා ගත්තාට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවටත් ස්තූතියි...

      Delete
  7. පැණිරසවලට විරුද්ධව ලියලා ඉතින් අපෙන් කන්න තමා ඔය ලෑස්ති වෙන්නෙ..))

    ReplyDelete
    Replies
    1. ඔන්න පැණිරස කාලා දත් කැක්කුම හැදුණොත් මං දන්නෙ නෑ ඔන්න!

      Delete
  8. අවුරුදු දෙකහමාරෙ පැංචෙක් ඉන්න මට මේ ලිපි හරිම වැදගත්. ගොඩාක් ස්තූතියි දත් වෙද සුමිතුරු නෝනට. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කට මේ පැත්තේ ආවට! තව ලිපි ලියන්නම්කෝ ඉස්සරහට..

      Delete
  9. අම්බන්ගොඩ කතා තමයි ඔත්තුව දුන්නේ. හොඳ බ්ලොගයක්. අපේ අක්කගේ දුව ගේ දතක් අයින් කරන්න වුනා පැණි රහ කාලම නරක වෙලා. ළමය අඬන නිසා අරන් දෙනවා. ඉට පස්සේ ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. පොඩි කාලෙ කිරිදත් ගැලෙව්වාම ස්ථිර දත් වල පිහිටීම අවුල් වෙනවා.. ඒක හදන එක වේදනාකාරී වගේම ගොඩක් වියදම් යන වැඩක්!

      Delete
  10. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියට එකතු කර ඇත. වසර ගණනාවකින් ඔබ එය ලියා නැති බැවින් දැනට එය "පුරා වස්තු" කොලමේ දැක්වේ.
    නැවත ඔබ ලියන්නට පටන් ගනු දැකීම අපගේ එකම සතුටයි.
    අපගේ සින්ඩිය දැනට අවකාශයේ ඇති පුළුල්තම පරාසයක පැතිරී ඇති සින්ඩියයි!

    ReplyDelete