Sunday, May 31, 2015

ඥාණ දත්.... (Wisdom Teeth) -II

මෙම ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
ශල්‍යකර්මයෙන් පසු කළ යුතු දේවල් සහ ඇති විය හැකි සංකූලතා පිළිබඳවයි. 

සාමන්‍යයෙන් මෙම ශල්‍යකර්මයෙන් සුවය ලබන්න දින 5-5-7 දක්වා කාලයක් ගත වෙනවා. විදුරුමස් වල ඇති තුවාලය සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න සති 3-4 දක්වා කාලයක් ගත වෙනවා. 

සංකූලතා ඇති වීම වළක්වා ගෙන තුවාලය හොඳින් සුව කර ගැනීමට පහත උපදෙස් ඉතා වැදගත් වෙනවා. 

  • ශල්‍යකර්මයෙන් පසුව පළමුපැය 24 ඇතුළත ලේ ගැලීම සාමන්‍ය දෙයක්. මෙය නතර කිරීමට පිරිසිදු ගෝස් කැබැල්ලක් තබා විනාඩි 45ක් පමණ හපාගෙන සිටිය යුතුයි. එමගින් ලේ ගැලීම නතර වෙනවා. 
  • නිතර කෙළ ගැසීමෙන් වැළකී සිටීම වැදගත්. තුවාලය සුව වීමට එතැන ලේ කැටියක් සෑදීම අවශ්‍ය වෙනවා. නිතර කෙළ ගැසීමෙන් ඒ ලේ කැටිය ගැලවී ඉවතට ය හැකියි. එමගින් තුවාලය සුව වීමට බාධා ඇති වෙනවා. 
  • නතර නොවන ලේ ගැලීමක් සිදුවේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
  • දත ගැලවූ පැත්තේ කම්මුල ඉදිමීම සිදුවිය හැකියි. ඉදිමීම අඩු කිරීමට අයිස් රෙදි කැබැල්ලක ඔතා එම ස්ථානයේ තබන්න. විනාඩි 10ක් අයිස් තැබීමෙන් පසුව විනාඩි 20ක් එය ඉවත් කර තබන්න. පළමු පැය 24 තුල මෙය නැවත නැවත කිරීමෙන් ඉදිමුම යම් තරමකට අඩු කර ගත හැකියි. 
  • හිරි වැට්ටීමෙන් පසුව පැය තුනක් පමණ කාලයක් එම හිරි ගතිය හිබෙනවා. එම කාලය ඇතුලත දිව හා කම්මුලේ ඇතුල් පැත්ත ඔබට නොදැනීම හැපීම නිසා තුවාල සිදුවෙන්න පුළුවන්, එය වළක්වා ගත යුතුයි, ඒ වගේම උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළෛය යුතුයි. එහි නියම උණුසුම හිරි ගතිය නිසා නොදැනීමෙන් තුවාල සිදු වෙන්න පුළුවන්. 
  • වෙහෙස වී කරන කටයුතු වලින් මඳකට ඈත්ව විවෙකීව සිටීමෙන් ලේ ගැලීම අඩු කර ගත හැකියි. 
  • පළමු පැය 24 තුළ කට සේදීමෙන් වැළකී සිටින්න. එයින් ලේ කැටිය ගැලවී යා හැකියි. පසු දිනයේ මඳ රස්නය ඇති ලුණු වතුරෙන් කට සේදීම සිදු කරන්න. එයින් ඉදිමුම සහ වේදනාව අඩු වේ. 
  • හොඳින් ජලය පානය කරන්න. එහෙත් ඇල්කොහොල් අඩංගු පාන වර්ග, කැෆේන් අඩංගු පාන වර්ග, කෝලා පාන වර්ග සහ උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළකී සිටින්න. බට වලින් බීම් වර්ග පානය කිරීමෙන් වැළකී සිටින්න. 
  • පළමු පැය 24 තුළ මෘදු ආහාර (යෝගට්, ජෙලි වැනි) ලබාගන්න. ඝන ආහාර සහ අධික මිරිස් යෙදූ ආහාර ගැනීමෙන් වැළකී සිටින්න. 
  • පළමු පැය 24 තුළ දත් මැදීමෙන් හෝ මුඛ සේදුම් දියර භාවිතයෙන් වැළකී සිටින්න. පසු දින සාමාන්‍ය පරිදි දත් මදින්න. එහෙත් තුවාලය අසල තදින් මැදීමෙන් වළකින්න. සෑම ආහාර වේලකටම පසුව මද උණුසුම් ලුණු වතුරෙන් කට සෝදන්න. 
  • ඔබ දුම් පානය කරන කෙනෙක් නම් ශල්‍යකර්මයෙන් දින 3ක් ගතවන තෙක් දුම්පානයෙන් වළකින්න. දුම්කොළ සැපීම සිදු කරනවා නම් සතියක් යනතෙක් එයින් වැළකී සිටින්න. 
  • වෛද්‍යවරයා විසින් ලබාදෙන වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ උපදෙස් පරිදි භාවිතා කරන්න.

මෙම ශල්‍යකර්මයෙන් සංකූලතා කිහිපයක් ඇතිවිය හැකියි. නිසි පරිදි තුවාලය සුව නොවීම ඉන් එකක්. සතියක් පමණ ගත වුණත් නිසි පරිදි තුවාලය සුව නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම වැදගත්. 

ඒ වගේම මෙම දත ආසන්නයෙන් මුහුණේ පහළ කොටසේ සංවේදනය සඳහා වැදගත් වන ස්නායුවක් ගමන් කරනවා. එම නිසා ශල්‍යකර්මයට පෙර එම ස්නායුව පිහිටා ඇති ආකාරය නිවැරදිව සොයාගැනීම වැදගත්. ඒ වගේම ශල්‍යකර්මය අතරතුර මෙම ස්නායුවට හානි සිදුවෙන්න පුළුවන්. මෙම හානිය බොහෝවිට තාවකාලිකයි. එම නිසා ශල්‍යකර්මයට පෙර ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසා දැනගැනීමත් වැදගත්. 

7 comments:

  1. දත් වෙද සුමිතුරු,

    මගෙ පුරවපු දතක පැත්තක්ම කඩල ගියානෙ. මේකට මොකද කරන්නෙ ?

    රිදෙන්නෙ නැතිව දත් පුරවන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. පුරවපු දතක් කඩල් ගියා නම් ආයෙ පුරවන්න තමයි වෙන්නෙ.

      දත පුරවද්දි රිදුන නම් ආයෙ දත පුරවන්න ගියාම හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එකක් දෙන්න කියන්නකෝ. එතකොට රිදෙන්නෙ නැහැ.
      හැබැයි ගොඩක් වෙලාවට රිදෙනවා කියන්නෙ නම් හිරිවැටෙන එකට.

      Delete
    2. ස්තූතියි.

      Delete
  2. මේ අයිසෙ දත් ඩොක්,
    අර ලංකාවෙ තැන් තැන්වල් තිබුණ නේද "චීන් දත් බඳින ස්ථානය" කියල ජාතියක්.
    දැන්නම් තියේද මන්ද.
    ඒ යක්කු මොනවද කරන්නෙ, වෙනම චීන ක්‍රමයක්ද?

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි! මට නම් ගොඩක් වැදගත් මේ විස්තර ටික.
    ගොඩක් අය අහන ප්‍රශ්න තොගේකටම උත්තර හම්බුනා.

    ReplyDelete
    Replies
    1. තව ලිපි ටිකක් ලියන්නම් වැදගත් කියල හිතෙන දේවල් ගැන...

      Delete
  4. මේ ලිපිය දැනට දාලා අවුරුදු ගානක්.ඒත් මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.මට තිබුන ගෝඩාක් ප්‍රශ්න වලට මේ ලිපියෙන් උත්තර ලැබුනා ගොඩාක් වටිනවා මේ වෙලාවෙ මේක මට💯🤝

    ReplyDelete